ලලිත් චාමින්ද –
පසුගිය කාල සීමාවේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකය විසින් මිලදී ගන්නා ලද ඖෂධ වෙනුවෙන් මේ දක්වා සැපයුම්කරුවන්ට ගෙවීමට ඇති ණය මුදල රැපියල් මිලියන 8152, ( රුපියල් අටසිය පහළොස් කෝටි, දහ නව ලක්ෂ හැත්තෑ හතර දහස් හාරසිය පනස් දෙකක් හෙවත් දල වශයෙන් බිලියන 8.16 ) ආසන්න බව වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී විජේසූරිය විසින් නිකුත් කොට ඇති ලිපියක් මගින් සනාථ වේ.
වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ සිදුකරන ලද විමසීමකට අනුව පිළිතුරු ලබාදෙමින් වෛද්‍ය සැපයුම් ඒකකය මෙම ලිපිය නිකුත් කොට ඇත.
අපේ රටේ වාර්ෂික ඖෂධ මිලදීගැනීමේ ඇස්තමේන්තුව ආසන්න වශයෙන් රුපියල් බිලියන හැටකට ආසන්න වන අතර පසුගිය කාලසීමාව මුළුල්ලේ අක්‍රමවත් අන්දමින් ඖෂධ මිලදී සිදුවීම නිසා මේ අන්දමට අතිවිශාල ණය ප්‍රමාණයක් ගෙවීමට සිදුව ඇති බව පෙනී යන බවත් මෙම ණය මුදල් ගෙවනතුරු වෛද්‍ය සැපයුම් පද්ධතියට පෙර සැපයුම්කරුවන්ගෙන් ඖෂධ ලබා ගැනීමේ දුෂ්කරතා මතුවිය හැකි බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පෙන්වා දෙයි.
මෙම හිඟ මුදල් හැකි ඉක්මනින් ගෙවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය භාණ්ඩාගාරයේ සමඟ එක්ව කටයුතු කිරීම වැදගත් බව ද එසේ නොවන්නේ නම් ඉදිරියේදී මෙරට වෛද්‍ය සැපයුම් පද්ධතිය බිඳ වැටීමේ බරපතල අවධානමක් දිස්වන බවද ඔහු පෙන්නුම් කරයි.









