ශ්‍රී ලංකාවේ විදුලි ගාස්තුව සම්බන්ධව නිකුත් කළ වෙරිටේ රිසර්ච් පර්යේෂණ වාර්තාව ප්‍රතික්ෂේප කරන බව විදුලිබල හා බලශක්ති ඇමති කාංචාන විජේසේකර අද (10) මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කළේය.
ඔහු චෝදනා කළේ ජනතාව ඉතාම නොමග යවන සුලු දත්ත භාවිතා කරමින් මැතිවරණයක් ආසන්නයේ දී රජය අපහසුතාවයට පත් කිරීම සඳහා යම් කිසි දේශපාලන අවශ්‍යතාවයක් මත මෙම වාර්තාව සකස් කකලේදැයි සැක සිතන බවය.
පසුගිය දා වෙරිටේ රිසර්ච් ආයතනය ඉදිරිපත් කළ සමීක්ෂණ වාර්තාව පෙන්වා දුන්නේ ගෘහ ඒකකයක් සඳහා දකුණු ආසියාවේ වැඩිම විදුලි බිල සහිත රට ශ්‍රී ලංකාව බවය.
දකුණු ආසියාවේ වෙනත් රටක නිවසක සමාන්‍ය විදුලි බිල මෙන් තුන් ගුණයක විදුලි බිලක් ශ්‍රී ලංකාවේ නිවාස ඒකකයකට ගෙවන්නට සිදුවන බව එම වාර්තාව දත්ත සහිතව පෙන්වා දුන්නේය.
කාංචන විජේසේකර අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ප්‍රකාශ කළේ තමන් වෙරිටේ රිසර්ච් වාර්තාව ප්‍රතික්ෂේප කරන බවය. ඔහු මෙම වාර්තාව සැපයූ වෙරිටේ රිසර්ච් ආයතනය දේශපාලන කොන්ත්‍රාත්තුවක් කරන බවට තමාට සැක පහළ වන්නේ යැයි ද කීවේය.
ඇමතිවරයා කීවේ මෙසේය.
“ අපි පිළිගන්නවා අපේ රටේ විදුලි බිල වැඩියි කියන එක. නමුත් ඒ වාර්තාවට පාදක කරගෙන තිබුණෙ ජනතාව ඉතාම නොමග යවන සුළු ආකාරයට.”
“ ඒ ආයතනය කියන විදිහට පරික්ෂණය සඳහා තෝරාගෙන ගත්තේ විදුලි ඒකක සීයට වැඩිය, ඒකක තුන්සීයට වැඩිය, ඒකක 500ට වැඩිය භාවිතා කරන පුද්ගලයො විතරයි.”
“අහන්න කැමතියි ඒ පරීක්ෂණ කරන ආයතනයෙනුත් ඒකක 100ට වැඩිය භාවිත කරන පාරිභෝගිකයන් කී දෙනා ද ඉන්නේ කියලා. ඒකක 90ට වඩා අපේ රටේ ගෘහස්ථ ඛාණ්ඩයේ භාවිතා කරන පිරිස ලක්ෂ 05කට අඩුයි. අපේ ලක්ෂ 55ක් ඉන්නවා ඒකක 90ට අඩුවෙන් භාවිතා කරන පිරිස. “
“එතකොට මේ පරීක්ෂණ කරන්නේ මැතිවරණයක් තියන අවස්ථාවක යම් කිසි කණ්ඩායමක අවශ්‍යතාවයකට ද කියන එකත් සැක සහිතයි.”
“අපේ රටේ අඩුවෙන් භාවිතා කරන පිරිසට වැඩි සහනයක් ලබා දෙනවා. 90න් උඩ පාවිච්චි කරන අයට තමයි වැඩි බරක් යොදලා තියෙන්නේ මේක ඇතුළේ. “
ඇමතිවරයා කීවේ වැඩි පරිභෝජනයක් සහිත ඛාණ්ඩය මගහැර ගොස් මෙම සමීක්ෂණ වාර්තාව සකසා ඇති බවය. එබැවින් එය පළිගත නොහැකි බවය.







