පියසේන දිසානායක –
ආණ්ඩුවේ පක්ෂ 11ක් එළියට බැස ආණ්ඩුවට අභියෝග කරමින් හිඳී. ඒ සම්බන්ධව මේ වනතුරු ආණ්ඩුවෙන් සැලකිය යුතු ප්රතිචාරයක් නැත. මේ හවුලේ විරසකයට හෙතුව රටේ බලශක්තිය පිළිබඳ ප්රශ්නයකි. බලශක්ති ඇමති ආණ්ඩුව තුළ සිටම එලියට බැස ඇත. ඒ ආරවුල පිළිබඳ විදුලිබල ඇමති ගාමිණි ලොකුගේ සමග ලංකාසර කෙටි සාකච්චාවක නිරත වුනේය. මේ අප නැගූ ප්රශ්නවලට ඇමතිවරයා දුන් පිළිතුරුය.

-
සති දෙකක් බලන්න.. වෙන දේ පෙනේවි… එක්කො විමල් ජනාධිපති කරනවා. නැතිනම් සදාකාලිකවම ගෙදර තියනවා…
ප්රශ්නය – හවුල්කාර පක්ෂ 11ක් දැන් එළියට ඇවිත් ආණ්ඩුවේ ප්රතිපත්තිවලට විරුද්ධව දැන් කතා කරන්න අරන්. මේ ඇතිවෙලා තියන තත්වය රජයේ ඉදිරි ගමනට බාධාවක් නොවෙයි ද?
පිළිතුර – බාධාවක් තමයි. විමල් ල කතා කරන්නේ වැරදි තැනක් අල්ලගෙන නෙ. අපේ රටේ කැලණිතිස්ස බලාගාරය තියනවා. බලාගාරය ඇතුළෙ තියන මෙහෙයුම්වලින් කොටසක් සියයට සීයක් අයිතිය තිබුනෙ ඇමරිකාවට. ඒක ගැන කවුරුත් කතා කළේ නෑනෙ.
ඇමරිකාව ඒක වික්කා ජපන් කාරයින්ට. ඒක ගැන කවුරුවත් කතා කරන්නෙත් නෑ.
කෙරවලපිටිය කියන්නෙ අපේ විදුලි පද්ධතියට ඕන විදුලි ප්රමාණයෙන් 16න් පංගුවක් දෙන තැනක්. එතනින් සියයට හතලිහක කොටස් කොම්පැණියකට ගියාම ආරක්ෂාවට කෙළවෙන්නෙ කොහොම ද?
මේ අය ගැලරියට සෙල්ලම් කරන්න පාරවල් හදා ගන්න යනවා.
ප්රශ්නය – ඇත්තටම මේ ගැලරියට සෙල්ලම් කිරීමක් ද?. මේ කැබිනට් සාමුහිකත්වය, සන්ධානයේ එකඟතා සියල්ල කඩකිරීමක් නේද?. ඉතින් ඔබ මොකද දැන් කරන්නෙ?
පිළිතුර – තව මාසයක් විතර යනකම් ගිහින් බලන්නකො මොකද වෙන්නෙ කියලා.
ප්රශ්නය – ඇත්තටම මොක ද වෙන්නේ
පිළිතුර – එක්කො විමල් රටේ ජනාධිපති කරනවා. නැතිනම් ගෙදර තියනවා.
ප්රශ්නය – ඇයි ඔබ එහෙම කියන්නේ?
පිළිතුර – අපේ පක්ෂයෙත් විනය කියලා එකක් තියනවා. එක්සත් ජාතික පක්ෂයේ විනය වගේ නෙමෙයි අපේ පක්ෂයෙ විනය.
ප්රශ්නය – හරි… දැන් කැබිනට් සාමුහිකත්වය කඩවෙලා. දැන් ආණ්ඩුව වශයෙන් ගන්න පියවර මොකක් ද?
පිළිතුර – සාමුහිකත්වය ගැන කතා කරන්න ඕන නෑ. අරලියගහ මන්දිරයේ සාකච්ඡාවක් තියලා කරුණු ඔක්කොම කිවුවනෙ පහුවෙනිදා උදේ. එකෙද් ප්රශ්න කතා කළා. එතනදි සද්ද දැම්මෙ නෑ නෙ.
ප්රශ්නය – එතනදි ඔවුන් ප්රශ්න කළේ මොනව ද?
පිළිතුර – එක රටක් එක නීතියක් කොමිටියට ඤාණසාර හාමුදුරුවො දැම්මෙ ඇයි ඇහුවා. ජනාධිපතිතුමා ඇහුවා මාව හැට හතර ලක්ෂයක් චන්දෙන් පත්කළාම කොමිටියක් පත් කරන්න ඔය අයගෙන් අවසර ගන්න ඕන ද කියලා. මේ චන්ද හැට හතර ලක්ෂයක් අරන් පත් වෙච්චි ජනාධිපතිවරයා. අපේ රටේ යම් යම් තීන්දු එතුමට ගන්න පුලුවන්.
ජේ.ආර්.ජයවර්ධන මහත්තයා ඉන්දියන් හමුදාව ගෙන්වන්න ගත්තෙ කාගෙන්වත් අහලා නෙමෙයි. ඇහුවාම කිව්වෙ මං ඒක ගත්තෙ ජනාධිපති හැටියට නෙමෙයි. හමුදාවෙ ප්රධානියා හැටියට ඒක ගත්තෙ.







