හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ බිරිඳ රශී පබා රත්වත්තේට අයත් බව කියන මිරිහාන ඇඹුල්දෙණිය ශාලාව පාරේ තෙමහල් නිවසක තිබී අංක තහඩු නොමැති මෙම ටොයොටා ලෙක්සස් වර්ගයේ සුඛෝපභෝගි මෝටර් රථය මිරිහාන පොලිසිය මගින් අත් අඩංගුවට ගන්නේ පසුගිය 26 වැනිදාය.
පොලිස් මූලස්ථානයේ ස්ථාපිත කර ඇති 1997 අංකයට ලැබුණු තොරතුරක් මත මුල්වරට පොලිසිය එම ස්ථානයට යනවිට සුවිසල් නිවසේ දොර වසා තිබී ඇත. නිවසේ හිමිකාරිත්වය පිළිබඳ සොයා බලද්දි එය ලොහාන් රත්වත්තේ ගේ බිරියගේ නමට ඇති නිවසක් බව අනාවරණය වී තිබේ.

අනතුරුව නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර අදාළ නිවසට ගොස් ලොහාන් රත්වත්තේ ගේ ඥාති සහෝදරියක් ලවා ගේට්ටුව විවෘත කරගෙන පරීක්ෂා කරද්දී ඒ අවස්ථාවේ නිවසේ කිසිවකුත් පදිංචි නොමැති බවත් අදාළ රථය නිවසේ ගරාජයේ නවතා තිබියදී සොයාගත් බවත් පොලිසිය පැවසුවේය.
මේ සම්බන්ධව ප්‍රකාශයක් ලබා දෙමින් ලොහාන් රත්වත්තගේ බිරිය රශී පබා රත්වත්තේ පවසා ඇත්තේ මෙම රථය මීට ටික දිනකට පෙර වෙඩි වැදීමකින් මියගිය බව කියන සිය සැමියාගේ ලේකම්වරයා විසින් නිවසට ගෙනැවිත් දැමූ බවය. ලොහාන් රත්වත්තේ ප්‍රකාශ කර ඇත්තේත් එම කරුණමය.
පසුගිය 28 දා රජයේ රස පරීක්ෂක වෙත මෙම වාහනය ඉදිරිපත් කර වැඩිදුර වාර්තාවක් ලබා ගත්තේය. වාහනයේ එන්ජින් සහ චැසි අංකවලින් කළ පරීක්ෂණවලදී මෙම වාහනය මෙරට ලියාපදිංචි කර නොමැති බව අනාරවණය වී ඇත.







