ලලිත් චාමින්ද –
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සේවය කළ වෛද්‍යවරු 80 දෙනෙකු හා විශේෂඥ වෛද්‍යවරු 15 දෙනෙකු පමණ ඉකුත් වර්ෂයේ (2023) සහ මෙම වර්ෂයේ මේ දක්වා කාලය තුළදී විදේශගතව ඇති බැව් කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය එස්.පි.යු.එම් රංග පවසයි.
වැටුප් ප්‍රශ්න හා විවිධ ගැටලු නිසා මෙකී වෛද්‍යවරු හා විශේෂඥ වෛද්‍යවරු විදේශගතවී ඇති බවද රෝහල් අධ්‍යක්ෂකවරයා පෙන්වා දුන්නේය.
රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය තුළ හා ළමා අංශය තුළ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බවද රෝහල් අධ්‍යක්ෂකවරයා පවසයි.
වෛද්‍යවරුන්ගේ හිගයක් පැවතියද රෝගි සත්කාරක සේවා අඩාල නොවන අයුරින් අවශ්‍ය කළමණාකරණ කටයුතු සිදුකරමින් රෝහලේ කටයුතු පවත්වාගෙන යන බවද රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
වාර්තාවන තොරතුරු අනුව හෙළිවන්නේ රටේම තත්ත්වය කරාපිටිය ශික්ෂණ රෝහලට සමාන බවය. එංගලන්තයේ හෝ ඕස්ට්‍රේලියාවේ වෛද්‍ය වෘත්තිය සඳහා සුදුසුකම් ලැබීමේ විභාගයවන AMC හෝ PLAB විභාග සමත් වී අවස්ථාව ලැබෙන තෙක් බලා සිටින වෛද්‍යවරුන් සැලකිය යුතු ප්‍රමාණයක් තවමත් කල්මරමින් සිටින බවත්, අනිවාර්යෙන්ම විදේශගත වීමේ බලාපොරොත්තු සහිතව විශාල මුදලක් වැය කර මහන්සි වී සුදුසුකම් සපුරාගෙන සිටින මෙම වෛද්‍යවරුන් රටින් පිටවී ගියහොත් එය බරපතල තත්ත්වයක් බවත් සෞඛ්‍ය ක්ෂේත්රයේ ආරංචි මාර්ග පවසයි.







