ලලිත් චාමින්ද –
වී අලෙවි මණ්ඩලය රුපියල් එකසිය විසි හතර කෝටි, අසු හත් ලක්ෂ, තිස් නව දහස් හැත්තෑ නමයක (1,248,739,079) ක පාඩුවක් ලබා ඇති බව ජාතික විගණන කාර්යාලය විසින් වී අලෙවි මණ්ඩලය සම්බන්ධයෙන් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.
වී අලෙවි මණ්ඩලය 2020 වර්ෂයේ ලබා ඇති පාඩුව 2019 වර්ෂයට සාපේක්ෂව රුපියල් පනස් කෝටි, හැත්තෑ ලක්ෂ, හැත්තෑ පන් දහස්, අටසිය හතරකින් (507,075,804) වැඩිවි ඇති බවද විගණන වාර්තාවේ සඳහන්වේ.
මෙකි පාඩුව සඳහා රුපියල් තුන්කෝටි, හැට හත් ලක්ෂ, අනු හය දහස්, හයසිය තිස් අටකින් (36,796,638) වෙනත් ආදායම් අඩුවිම හා මුල්‍ය වියදම රුපියල් හෑත්තෑ එක් කෝටි, හෑත්තෑ දෙලක්ෂ, විසිපන් දහස්, අටසිය විසි හතරකින් (717,225,824) කින් වැඩිවීම හේතුවී ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
වී අලෙවි මණ්ඩලය විසින් මහා භාණ්ඩාගාරය සදහා රුපියල් හයසිය හැට අට කෝටි,හතලිස් පන් ලක්ෂ, පනස් හතර දහස්, පන්සිය තිස් හතරක මුදලක් (6,684,554,538) ගෙවීමට තිබු අතර එම මුදල 2023 වර්ෂයේ අප්‍රේල් මස 30 වැනිදින දක්වා නිරවුල් කිරිමට කටයුතු කර නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
වී අලෙවි මණ්ඩලය විසින් මිලදි ගෙන තිබු වී තොග වෙළඳපොළ මිලට හා පිරිවැය මිලට වඩා අඩු මිලකට විකිණීම හේතුවෙන් ඊළඟ කන්නයේ වී මිලදී ගැනිම සඳහා අවශ්‍ය අරමුදල් සහ පාඩු පියවා ගැනීම සඳහා භාණ්ඩාගාරයෙන් හා රාජ්‍ය බැංකුවලින් ණය පහසුක්ම ලබාගෙන තිබුණි.
රාජ්‍ය බැංකු දෙකකින් ලබාගෙන තිබු ණය සඳහා 2020 වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනි දිනට ගෙවිය යුතු මුදල රුපියල් මිලියන 22,652.79ක් බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
මේ සඳහා ගෙවිය යුතු පොලී මුදල රුපියල් මිලියන 28.67කි. වී අලෙවි මණ්ඩලයට කෘෂිකර්ම අමාත්‍යංශය ඇතුළු විවිධ ආයතනවලින් රුපියල් තුන්සිය හැත්තෑ කෝටි, හැට හත් ලක්ෂ, තිස් හත් දහස්, අනූ අටක (3,706,737,098) මුදලක් ලැබිමට තිබුණි. මේ අතර වී මෝල් හිමියන්ගෙන් ලැබිමට ඇති ණය මුදල හයකෝටි, දාසය ලක්ෂ, අනු නව දහස් ,නවසිය පනස් එකකි (61,699,951) .
වි අලෙවි මණ්ඩලයේ වත්කම්ද සෘණ අගයක් බවට වර්ධනය වී ඇති අතර මේ නිසා වී අලෙවි මණ්ඩලය රාජ්‍ය මුල්‍ය අනුග්‍රහකයින් තොරව පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් උදා වී ඇත.







