ආණ්ඩුවෙන් දියත් කර ඇති මර්ධනයට විරෝධය දක්වමින් සංවිධානය කළ සරුංගල් යැවීමේ විරෝධතාවයක් මැඩලීමට ඊයේ (27) පොලිසිය බරපතල උත්සාහයක් ගත්තේය.
‘SHE TALKS’ නමැති කාන්තා එකමුතුව මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි.
විරෝධතාවය මැඩපැවැත්වීමට පැමිණි පොලිස් ප්‍රධානියා පැවසුවේ ජනාධිපතිවරයාගේ රුව සහිත සරුංගල් යැවීමට ඉඩ දිය නොහැකි බවය.
මේ අවස්ථාවේ දී විරෝධාවයේ සිටි නීති වෘත්තිකයින් ගණනාවක් පොලිසියට ජනතාවගේ මූලික අයිතිවාසිකම් කුමක් ද යන්න පැහැදිලි කරදී බාධා කිරීම් නොසලකා සරුංල් යැවීමේ විරෝධතාවය දියත් කළහ.
නීතිඥ තිළිණි හේවාවිතරණ පැවසුවේ ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කර ඇති ශ්‍රී ලංකා පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ ඊට ගරු කිරීමට කරන ඉල්ලීමක් මෙම විරෝධතාවය හරහා ඉදිරිපත් කිරීමට තමන් උත්සාහ කරන බවය.
‘SHE TALKS’ හි සාමාජිකාවක් වූ නීතිඥ නිරූපා සේරසිංහ කීවේ ඩොලර් එකක් නොමැතිව රට හිඟමනට පත් වී ඇති මොහොතක ලෝකය අත්හැර රනිල් වික්‍රමසිංහට හුදකලා ගමනක් යා නොහැකි බවය. ලොකයට මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කර පෙන්විය යුතු බවය.
“මොහු මේ මොකක්ද කරන්න හදන්නෙ. ඒ නිසයි අපි එකතු වුනේ. පුලුවන්නම් අත්අඩංගුවට අරන් පෙන්වන්න. අපි බය නැහැ. අපි එකතු වෙනවා. අපි ජනතාවටත් කියනවා එකතු වෙන්න. එකතුවීමෙන් තොර විසඳුමක් නෑ කියලා. “ ඇය කීවාය.
දූෂිත පාලනයට එරෙහිව කළ අරගලයේ දී එම අරගලය මෙහෙයවූ තරුණ දරුවන් ත්‍රස්තවාදීන් කර ඇති ආකාරය අශිෂ්ට බවත් සමාජයේ මතුවන විරෝධතාවය නිමා වී නැති බවත් එම සංවිධානය පවසන්නේය. තමන් පතන රට ලැබෙන තුරු අරගලය අත්හරින්නේ නැති බවත් ඔවුන් ප්‍රකාශ කරන්නේය
&;







