මෙරට ඉන්ධන බෙදා හැරීමේ මෙහෙයුම් සඳහා දැනට පවතින ඉන්ධන පිරවුම්හල් 500 – 700ත් අතර ප්‍රමාණයක් නව සමාගම් දෙකක් වෙත ප්‍රධානය කිරීම සඳහා රජය කටයුතු කරමින් සිටින බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

ඉදිරි මාස 4 තුළ මෙරටට අවශ්‍ය ඉන්ධන ගෙන්වීම සඳහා ඩොලර් බිලියන 4ක මුදලක් අවශ්‍යව පවතින තත්ත්වයක් තුළ එම මුදල් සොයා ගැනීමේ දුෂ්කරතා මත කඩිනමින් එම ගනුදෙනුව සිදු කොට අදාළ සමාගම් සඳහා මෙහෙයුම් ලබා දීමට සූදානම් බව සඳහන් වේ. ඒ අනුව දැනට ඉදිරිපත්ව ඇති යෝජනා 27ක් අතුරින් චීන සිනොපෙක් සමාගමත් බ්‍රිතාන්‍ය ෂෙල් සමාගමත් ඉන්ධන මෙහෙයුම් කටයුතු ලබා දීම සඳහා තෝරාගෙන ඇති බව සඳහන් වේ.
අදාළ යෝජනා ඉදිරිපත් කළ සමාගම් 27 අතර සුදුසුකම් පවතින සමාගම් මොනවාද යන්න පිළිබඳ අධ්‍යයනය කරමින් සිටින බවත් ඒ අනුව මෙරට ඉන්ධනහල් පවත්වාගෙන යාම සඳහා සමාගම් 4කට අවස්ථාව සලසා දීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යංශ නිළධාරියෙක් සඳහන් කර තිබේ.
දැනට සාකච්ඡා කර ඇති ආකාරයට අදාළ සමාගම ඉන්ධන සඳහා ඩොලර් ගෙවා ආනයනය කළ යුතු අතර ඒවා බෙදා හැරීමේ කටයුතු ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හරහා සිදු කොට ඒ සඳහා සේවා ගාස්තුවක් ලබා ගැනීමට යෝජනා වී ඇත.
මෙහිදී දැනට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතින ඉන්ධන හල් 1200 අතුරින් 500 – 700ත් අතර ප්‍රමාණයක් එකී සමාගම් දෙකට ලබා දීම කෙරෙහි අවධානය යොමුව තිබේ.







