පාර්ලිමේන්තුවේ ඉදිරිපෙළ අසුන්ගෙන සිටි විමල් වීරවංශට සහ දෙවන පෙළ අසුන්ගෙන සිටි උදය ගම්මන්පිලට ඇමති ධුර අහිමි වීමත් සමග ඉදිරි පෙළ අසුන් අහිමිවන බවත් ඔවුන්ට ආණ්ඩු පක්ෂයේ සිවුවන පෙළ අසුන් පනවා ඇති බවත් පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මාධ්‍යයට ප්‍රකාශ කළේය.
ඒ අනුව ලබන අඟහරුවාදා ආරම්භවන පාර්ලිමේන්තු සැසියේ දී විමල් වීරවංශට 73වන අසුනත්, උදය ගම්මන්පිලට 78වන අසුනත් පනවා තිබේ.
මෙතෙක් ආණ්ඩුපක්ෂයේ සිව්වන පෙළ අසුන් ගෙන සිටි එස්.බී දිසානායකට කැබිනට් ඇමති ධුරය ලැබීමෙන් පසු ඔහු ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ අසුන් ගන්නා අතර ජ්‍යෙෂ්ඨත්වය අනුව ඔහුට ඉදිරිපෙළ දෙවැනි අසුන හිමි වී ඇත.
තුන්වන පේළියේ සිටි දිළුම් අමුණුගම කැබිනට් ඇමති ධුරයත් සමග දෙවැනි පෙළට ගමන් කරන බවත්, නැවත මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන් අරුන්දික ප්‍රනාන්දුට ආණ්ඩු පක්ෂයේ දෙවැනි පෙළ අසුනක් ලැබෙන බවත් පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි.







