දිනසේන රතුගමගේ –
වසර පහේ නිවාඩුව අනුමත කරගෙන විදෙස්ගතවීමට අයදුම් කරන උතුරු පළාතේ වෘත්තිකයන්ගේ සහ බුද්ධිමතුන්ගේ අයදුම්පත් සෑම දිනකම සියයකට වඩා ලැබෙමින් ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාරිණි පි.එම්.එස්.චාර්ල්ස් ඊයේ (10) පැවසුවාය.
ඇය මේ බව පැවසුවේ රුපියල් තුන් කෝටි අසූ ලක්ෂයක් වියදම් කරමින් මන්නාරම රෝහලට මන්නාරම සුභසාධක සංගමයේ ලන්ඩන් ශාඛා සාමාජිකයින් විසින් ඉදි කර දෙන ලද මාතෘ වාට්ටුවක් සහිත නව වාට්ටු දෙකක් දෙකකක් විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

මෙහි දී ආණ්ඩුකාරවරිය පවසා සිටියේ මේ මෙහොත මාතෘ භූමිය වෙනුවෙන් ද්‍රවිඩ ඩයස්පෝරාවේ උදව් අවශ්‍යම මොහොත බවත් මෙවැනි සමාජ සුබසාධන ව්‍යාපෘති දෙමළ ඩයස් පෝරාවෙන් බලාපොරොත්තු වන බවත්ය.
රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය නිලධාරීන් රට හැර යාම දැවැන්ත අභියෝගයක් බවත් එවැනි අභියෝග හමුවේ ජනතාව වෙනුවෙන් සේවය සැලසීමට සිදුවූ දුෂ්කර කාලයක් ගත කරමින් සිටින බවත් ඇය කීවාය.
මන්නාරම සහ මුලතිව් රෝහල් දෙක ඉදිකිරීම සම්බන්ධයෙන් ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කර ඇති බව කී ආණ්ඩුකාරවරිය ඒ සම්බන්ධයෙන් අඛණ්ඩව සාකච්ඡා කරමින් සිටින්නේ යැයි පැවසුවාය.
මේ වන විට අතහැර දමා ඇති ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සඳහා ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවද ආණ්ඩුකාරවරිය කීවාය.
පළාතේ පවතින සෑම ක්ෂේත්‍රයකම සෞඛ්‍ය සේවක හිඟය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය සමඟ සාකච්ඡා කර විශේෂ ක්‍රියාමාර්ගයක් ගෙන ඇති බවත් ඇය කීවාය.








