දිනසේන රතුගමගේ –
කොළඹ සිට යාපනය බලා ධාවනය වන අති සුඛෝපාභෝගී බස් රථයක් අද ( 5 )දා අළුයම වවුනියාවේ නොච්චිමුට්ටේ පාලමේ හා තවත් බස් රථයක ගැටී පෙරළී යාම නිසා රියදුරා සහ තවත් මගියෙක් මරුමුවට පත් වී තවත් 24 දෙනෙකු තුවාල ලබා තිබේ.

බස් රථය පාලමේ ගැටී පෙරළී ඇත්තේ විරුද්ධ දිශාවෙන් පැමිණි තවත් එවැනිම සුඛෝපභෝගී බස් රථයකට පාලම මතදී ඉඩ දීමට ගිය අවස්ථාවකදීය.
පාලම පටු වීමත් වර්ෂාව පැවති නිසාත් එක් බස් රථයක් පාලමේ ගැටී තිබේ.
මේ අවස්ථාවේදී එක් බස් රථයක රියදුරුට නින්ද ගොස් ඇති බවට පොලීසිය සැක කරයි.
තුවාලකරුවන්ගෙන් තුන් දෙනෙකුගේ තත්ත්වය බරපතල වන අතර ඔවුන්ගෙන් දෙදෙනෙකුව අනුරාධපුර ශීක්ෂණ රෝහල වෙත යවා ඇත.
බස් රථය නොච්චිමුට්ටේ පාලමේ ගැටීම නිසා පාලමේ ඇන්ද සම්පූර්ණයෙන්ම කැඩී ගොස් පාලමට දැඩි අලාභහානි සිදුව තිබේ.
මියගිය පුද්ගලයින් දෙදෙනා අතර බස් රථයේ රියදුරාද සිටින අතර වවුනියාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.







