වයඹ පළාත් මහ ඇමති නීතිඥ රාජා කොල්ලුරේට සිය නීතිඥකම හා ආණ්ඩුකාරකම ළමයෙකුට දී ඉවත්වන ලෙස ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ අද (21) පැවසුවේය.
අද පාසලට වාර්තා නොකරන ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ නොවැම්බර් වැටුප නවත්වන බවට ඔහු කළ ප්‍රකාශයට ගුරු විදුහල්පති වරු දී ඇති පිළිතුර තේරුම් ගන්නේ නම් ඔහුට තවදුරටත් ආණ්ඩුකාර ධූරයේ රැඳී සිටිය නොහැකි බව ද ඔහු කීවේය.
ලේකම්වරයා මෙසේ ද පැවසීය.
“ වයඹ පළාතේ සිසුන් 200 අඩු පාසල් තිබෙන්නෙ 608යි. අද ඒ පාසල් 608න් 598ක් සම්පූර්ණයෙන් වැහුණා. වයඹින් තමයි මේ ඔලමොට්ටල පාලකයින්ට ඉතාම ප්‍රබල පිළිතුර ලැබුණෙ.“
“අද රටපුරා දිස්ත්‍රික්කවල සියයට 98ක්ම පාසල් වහලා දාලා. ගුරු විදුහල්පතිවරු ඇවිත් නෑ. හැටන් කලාපයේ විවෘත කරන්න නියමිතව තිබුණෙ පාසල් 74යි. ඉන් 15ක් විදුහල්පතිවරු විතරක් සේවයට වාර්තා කළා. අනික් අය ඇවිත් නෑ. හැටන් සිංහල මාධ්‍ය පාසල්වල ගුරුවරු 08යි ඇවිත් තිබෙන්නේ. ළමයි 13යි.“
“මහනුවර පාසල් 304යි. 304ම අසාර්ථකයි. 10ක පමණක් විදුහල්පතිවරු විතරක් ඇවිත් තිබුණා. මාතර 144න් 34ක් අසාර්ථක ලෙස පවත්වාගෙන යන්න උත්සාහ කරලා තියනවා. පාසල් 110ක් වහලා. 144ම අසාර්ථකයි. උතුරු පලාතේ සියයට 80කට වඩා පාසල් වහලා. නැගෙනහිර සියයට 90ක් පාසල් වහලා. පොලොන්නරුවෙ පාසල් 129ම වසා දමා තිබෙනවා.“
“රට පුරාම තත්වය මේක. අද තමයි ගුරු විදුහල්පතිවරු ඇත්ත වැඩවර්ජන පටන් ගත්තේ. මේ අරගල කළ දින 102ක පාසල් වහලා දාලා තිබුණේ. අද තමයි පාසල් ඇරිය දවස. පළමු දිනයේම අපි අපේ ශක්තිය බලය පෙන්නුවා. දැන්වත් මේක තේරුම් ගන්න.“
“කුට්ටිආරච්චි ජෝෂප් සහෝදරයා ගෝල්ෆේස් එකට ගෙනත් උල තියනවා කිව්වා. ඔහුට උලක ඉඳගන්න වෙලා. සරත් වීරසේකරට මේ රටේ පොලිසිය භාර ඇමතිවරයා. ඔහු කියනවා ඉබි යතුරු කඩලා එන්නලු ඉස්කෝලවලට. මේක ද නීතිය. මේක පොදු දේපල විනාශ කිරීමක් නෙමෙයි ද? . ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට, මහින්දට අගමැතිවරයාට, මේ රටේ අබැටක් හෝ මොළය තියන අයට අපි කියනවා මුලින්ම මේ ගොං කතා කියන සරත් වීරසේකරගෙ කටට ඉබි යතුරු දාන්න කියලා. මෙයාගෙ ගොං පාට් වලට ගුරු විදුහල්පතිව වරුන් ගණන් ගන්නෙ නෑ කියන දේ අද අපි පෙන්නුවා. ඒ අතරෙ රෝහිත උන්නැහැ කියනවා හැට දායක් උපාධිධාරීන් ඉන්නවා. ඒ අයට ගුරු පත්වීම් දෙනවලු. මේ වගේ කතා කියලා රටට විහිලු සපයන්න එපා. කෝච්චියෙ වැඩේ කරගෙන හිටියනම් ඔය ජාතියෙ කතා කියලා තමුන්නාසෙට ඇනගන්න වෙන්නෙ නෑ. “
“ දැන් ආණ්ඩුව මේක තේරුම් ගන්න අවශ්‍යයයි කියලා අපි විශ්වාස කරනවා. කවදාවත් නැති තරම් ප්‍රබල විදිහට අපි අපේ පණිවිඩය දීලා තියනවා. රටේ දෙමව්පියන්ට අපි ගෞරව කරනවා. මේ රටේ දෙමව්පියො විශ්වාස කරන්නෙ ගුරුවරයා. විදුහල්පතිවරයා. එහෙම නැතිව ප්‍රාදේශීය සභාවෙන් මෙතෙන් ගෙනත් දාන පුද්ගලයෙක් හෝ පොලිසියෙන් ගෙන්වා ගත් පුද්ගලයෙක් නොවෙයි. ඔවුන් තමන්ගෙ දරුවන්ව ඒ කණ්ඩායමට භාර දෙන්න සූදානම් නෑ. “
“අද අරගලය මේ රටේ පාලකයින්ට පාඩම් රැසක් කියා දුන්නු අරගලයක්. මේක කෙළවර වන්නෙ ජයග්‍රහණයෙන් කියන පණිවිඩය අපි දීලා තියනවා. මේ ඉල්ලීම ගැන නැවත සලකා බලන්න. සුබෝධනී වාර්තාව මත පදනම්ව මේ ප්‍රශ්නය විසඳන්න. “







