ඒමන්ති මාරඹේ –
තම පින්තුරයක් (සෙල්ෆි ) ලබා ගැනීමට ගොස් ජලාශයකට වැටුණු ජංගම දුරකථනය සොයා ගැනීම සඳහා ජලාශයේ පිරි තිබු ජලය ලීටර් මිලියන 4.1ක් ඉවත් කළ ඉන්දියාවේ ආහාර පරීක්ෂකවරයාගේ සේවය අත් හිටුවා ඔහුට එරෙහිව උපරිම දඩයක් නියම කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබේ.
රාජේශ් විශ්වාස් නමැති මෙම ආහාර පරීක්ෂකවරයාට මේ අනුව නිසි බලධාරීන්ගේ අවසරයක් නොමැතිව ජලාශයක පිරී තිබු ලීටර් මිලියන ගණනක ජලය ජල පොම්පයක් ආධාරයෙන් ඉවත් කිරීමේ වරදට ඉන්දීය රුපියල් 53,092ක දඩ මුදලක්ද සිය රජයේ නිලධාරී තනතුර අවභාවිත කිරීමේ වරද වෙනුවෙන් ඉන්දීය රුපියල් 10,000ක දඩ මුදලක්ද ගෙවා දැමීමට බලධාරීන් විසින් නියම කර තිබේ .
විශ්වාස් නමැති මෙම ආහාර පරීක්ෂකවරයා ඉකුත් සතියේදී චට්ටිස්ගාර් ප්‍රාන්තයේ “කෙර් කට්ටා “වේල්ල වෙත ගිය අවස්ථාවේදී සිය ජායාරුපයක් (සෙල්ෆි ) ගැනීමට යාමේදී ඔහු සතුව තිබු රුපියල් ලක්‍ෂයක් පමණ වටිනා සැම්සුන් ජංගම දුරකථනය ජලාශයට වැටි තිබිණි.
එම ප්‍රදේශයේ සිටින කිමිදුම්කරුවන්ට ජලාශයට වැටුණු ජංගම දුරකථනය සොයා ගැනීමට නොහැකි වීම නිසා මුදල් ගෙවා ඩිසල් ජල පොම්පයක් ගෙන්වාගෙන ඇති අදාළ නිලධාරියා නිසි බලධරයෙකුගේ අවසරයකින් තොරව දින ගණනක් මුළුල්ලේ එම ජල පොම්පයෙන් ජලය ලීටර් මිලියන 4.1ක් ඉවත් කර ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ .
එසේ ජලය ඉවත් කළ පසු ජලාශයේ පතුලේ තිබී නිලධාරියාගේ නැති වූ ජංගම දුරකථනය සොයාගෙන ඇතත් ඒ වන විට එහි භාවිත කළ නොහැකි තරම් ජලය පිරි තිබී ඇත.
මෙම නිලධාරියා සිය ජංගම දුරකථනය සොයා ගැනීම සඳහා මේ සා ජලය ප්‍රමාණයක් ජලාශයෙන් ඉවත් කර ඇත්තේ අදාළ දුරකථනයෙහි රජයට අයත් ඉතාමත් සංවේදී තොරතුරු ගබඩා කර ඇති බව පවසමින් වුවද ඔහුගේ මෙම ක්‍රියාව පිළිබඳව මාධ්‍ය විසින් හෙළිදරව් කිරීමත් සමගම රට පුරා එම ක්‍රියාවට එරෙහිව මේ වන විට දැඩි විරෝධයක් හට ගෙන තිබේ .
මෙම ආහාර පරීක්ෂක වරයාගේ ක්‍රියාව දැඩි ලෙස විවේචනය කර ඇති ඉන්දීය දේශපාලනඥයන් මෙම ගිම්භාන සමයේ ඉන්දියාවේ ප්‍රාන්ත ගණනාවක විශාල ජනතාවක් උග්‍ර පානීය ජල හිඟයකට මුහුණ පා සිටියදී මෙසේ ජලය විශාල ප්‍රමාණයක් නිකරුණේ අපතේ යැවීම අපරාධයක් බව පවසා තිබේ .
කෙසේ වුවද චෝදනාවට ලක්ව සිටින රාජේශ් විශ්වාස් මාධ්‍යයට,පවසා තිබුණේ තමා ජලාශයේ ජලය ඉවත් කිරීමට පෙර බලධාරියෙකුගෙන් වාචිකව, ඒ සම්බන්දයෙන් අවසරය ලබා ගත් බවයි.