ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘතියක් තමන් සතු කර ගැනීම සඳහා මෙරට රාජ්‍ය නිලධාරීන් වෙත අල්ලස් දීමේ සිද්ධියක් සම්බන්ධව දශකයකට ආසන්න කාලයක් සිදුකළ විමර්ශනයකින් පසුව පසුගිය සැප්තැම්බර් මාසයේදී ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති ඔස්ට්‍රේලියානුවන් දෙදෙනා 67 හා 71 වයස්වල පසුවන සිඩ්නි නගරයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙක් බව වාර්තා වේ.
2009-2016 අතර කාලසීමාවේදී ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරීන් වෙත ඔස්ට්‍රේලියානු ඩොලර් 304,000 අල්ලස් ලබාදීමේ චෝදනාවක් ඔවුන්ට එල්ල වී තිබේ.
ඔවුන් එම අල්ලස් ලබාදී තිබුණේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 14 ක වටිනාකමින් යුතු ව්‍යාපෘති දෙකක් සඳහා බව ඔස්ට්‍රේලියානු පොලීසිය සඳහන් කළේය.
නමුත් ඒ ව්‍යාපෘති මොනවාද යන්න මේ වනතෙක් ඔවුන් අනාවරණය කර නොමැත.
අල්ලස් ලබාදී ඇත්තේ ඔස්ට්‍රේලියාව පාදක කරගත් SMEC නම් ජාත්‍යන්තර ඉංජිනේරු සමාගමක් වෙනුවෙනි.
එම සමාගම ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ සංවර්ධන ව්‍යාපෘති තමන් වෙත ලබාගැනීම සඳහා අයථා ගෙවීම් සිදුකර ඇති බව ලෝක බැංකුව ද මීට පෙර අනාවරණ කර තිබුණි.
එහිදී SMEC සමාගම එම චෝදනා ප්‍රතික්ෂේප කළේය.
විමර්ශන මෙහෙයවීමේදී රාජකීය කැනේඩියානු පොලීසිය මෙන්ම ඉන්දීය, ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ පොලිසියේ සහාය ද හිමිවූ බව ඔස්ට්‍රේලියානු පොලීසිය පවසයි.
සැකකරුවන් වැරදිකරුවන් වුවහොත් එරට නීතිය අනුව ඔවුන්ට වසර 10ක සිරදඬුවම් පැනවෙනු ඇත.
දෙරණ –







