කුරුණෑගල දියෝකිසියේ හයවන රදගුරු හිමිපාණන් වන අතිගරු කීර්තිසිරි ප්‍රනාන්දු රදගුරුතුමා එම පදවියෙන් ඉල්ලා අස්වී තිබේ.
පසුගිය මස 24 වන දින පැවති ලංකා සභාවේ කුරුණෑගල දියෝකිසයේ 66 වන මන්ත්‍රන සභාව අවසානයේ එතුමාගේ ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කර ඇත.
පෞද්ගලික හේතූන් මත රදගුරු පදවියෙන් ඉල්ලා අස්වන බව එතුමා කැන්ටබරියේ අග්‍රරාජගුරු ප්‍රසාදින් වහන්සේ වෙත දැනුම් දී තිබේ. එම ඉල්ලා අස්වීම බාරගත් බව වන්දනීය අනුනායක පියතුමන් විසින් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු සම්ප්‍රදායානුකූලව රදගුරු යෂ්ඨිය කුරුණෑගල මුල් දෙව් මැඳුරු පූජාසනයේ තැන්පත් කිරීම අතිගරු කීර්තිසිරී ප්‍රනාන්දු රදගුරුතුමා විසින් සිදුකරනු ලැබීය.
ඉන්පසු කුරුණෑගල දියෝකිසියේ රදගුරු පදවිය හිස්විය. රදගුරු පදවිය අලුතින් කෙනෙකු පත්කරන තෙක් කුරුණෑගල දියෝකීසියේ වැඩ බැලීමට කැන්ටබරියේ අගරදගුරු හිමිපාණන් විසින් අතිගරු කීර්තිසිරී ප්‍රනාන්දු රදගුරු හිමිපාණන්වම නම් කර තිබේ.
කුරුණැගල දියෝකිසියේ හත්වන රදගුරුතුමා පත්කිරීම 1998 අංක 43 දරන ලංකා සභාව සංස්ථාගත කිරීමේ පාර්ලිමේන්තු පණතට යටත්ව සිදු කෙරෙනු ඇත.
රදගුරුතුමන් ඉල්ලා අස්වූ හෝ විශ්‍රමගත් දා සිට දින 60 ත් 120 ත් අතර කාලය තුළ මන්ත්‍රන සභාව කැඳවා ඡන්දයකින් හෝ ඒකමතිකව නව රදගුරුතුමෙකු පත්කර ගත යුතුය.







