පාර්ලිමේන්තු ගෘහ පාලන අංශයේ ඇතැම් තරුණ රූමත් සේවිකාවන්ට ලිංගික හිංසන සහ අඩන්තේට්ටම් සිදුකරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණවල දී අනාවරණය වූ තොරතුරු පදනම් කරගෙන පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර විසින් ඊයේ (11) පාර්ලිමේන්තුවේ සහකාර ගෘහ පාලකවරයාගේ වැඩ තහනම් කරනු ලැබීය.
පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ ඇතැම් තරුණ රූමත් සේවිකාවන්ට ලිංගික හිංසන සහ අඩන්තේට්ටම් සිදු කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීමෙන් පසු පාර්ලිමේන්තු මහලේකම්වරිය විසින් මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පසුගිය දා පත් කළේය.
මෙම කමිටුව පත් කිරීමෙන් පසු සේවිකාවෝ පිරිසක් එම කමිටුව හමුවේ ස්වේච්ඡාවෙන් පෙනී සිට තමන්ට සිදුවී ඇති හිංසන සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කළහ. සහකාර ගෘහ පාලක වරයාගේ වැඩ තහනම් කරනු ලැබ ඇත්තේ එම සේවිකාවන් ලබාදී ඇති තොරතුරු සැලකිල්ලට ගෙනය.
සේවිකාවන් එම හිංසන සිද්ධීන් සම්බන්ධයෙන් තවත් නිලධාරීන් කිහිප දෙනකු ගැනද තොරතුරු අනාවරණය කර ඇති අතර ඔවුන් සම්බන්ධයෙන්ද ඉදිරියේදී ක්‍රියාමාර්ග ගැනෙනු ඇතැයි වාර්තාවේ.
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි දීම වැළැක්වීමට නිලධාරීන් සහ සේවකයන් පිරිසක් එම සේවිකාවන්ට විවිධාකාරයෙන් තර්ජන එල්ල කළ අවස්ථා කිහිපයක් සම්බන්ධයෙන්ද පාලිමේන්තු ප්‍රධානීන්ට තොරතුරු අනාවරණයවී ඇත.
ඒ සම්බන්ධයෙන්ද කරුණු සොයා බලමින් සිටින බව පාර්ලිමේන්තු ප්‍රධානීහු පැවසූහ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයද වෙනම විමර්ශනයක් පවත්වයි. එම සංසදයේ සාමාජිකා මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණි කුමාරි විජේරත්න සේවිකාවන් කිහිපදෙනෙකුගෙන් දැනටමත් ප්‍රකාශ ලබාගෙන ඇත. – ලංකාදීප







