යුක්රේන ටෙනිස් තරුව එලිනා ස්විටොලිනාය. ඇය ඊයේ (02) මොන්ටෙරේ විවෘත ටෙනිස් තරගාවලියේදී රුසියාවේ ටෙනිස් ශූරිය ඇනස්ටේෂියා පොටපෝවා පරාජය කළාය.
ඒ ජයග්‍රහණයට ගැඹුරු අර්ථයක් එක්වන්නේ ඉන් අනතුරුවය. ජයගහණයෙන් ඇය ලද ත්‍යාග මුදල යුක්‍රේන හමුදාවට පරිත්‍යාග කිරීමට එලීනා ප්‍රතිඥා දුන්නාය..
මෙක්සිකෝවේ මොන්ටෙරේ හි පැවති ආරම්භක වටයේ තරගයේ ජයග්‍රහණයෙන් පසු ස්විටෝලිනා ඇගේ හදවතට අත තබා ප්‍රේක්ෂකයින් වෙත අත දිගු කළාය.
“මම මගේ රට වෙනුවෙන් අරගලයක යෙදී සිටියෙමි,” ස්විටොලිනා ජයග්‍රහණයෙන් පසු පිටිය තුළ පැවති සම්මුඛ සාකච්ඡාවකදී මාධ්‍යයට කීවාය. ප්‍රේක්ෂකයො මහා හඬින් හඬ නැගූහ.
“මෙය මට ඉතා සුවිශේෂී තරගයක්… මේ මොහොතේ මා ඉන්නේ ඉතා කණගාටුදායක මනෝභාවයකින්… නමුත් මම මෙහි ටෙනිස් ක්‍රීඩා කිරීම ගැන මට සතුටුයි.” ඇය වැඩිදුරටත් පැවසුවාය.
තරඟාවලියේ අංක 1 ටෙනිස් ක්‍රීඩිකාව වන එලිනා ස්විටොලිනා යුක්රේන ධජයේ වර්ණ වන නිල් සහ කහ වර්ණයෙන් සැරසී ක්‍රීඩාංගනයට පැමිණ සිටියාය.
ඇය මීට පෙර රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමග ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කර තිබුණාය. සඳුදා, ඇය සමාජ මාධ්‍ය සටහනක ලියා ඇත්තේ තමා කිසිදු රුසියානු හෝ බෙලාරුසියානු ක්‍රීඩිකාවක් සමග ක්‍රීඩා නොකරන බවත්, සංවිධායකයන් නිසි පියවර නොගතහොත් අද තරඟය අත්හරින බවත්ය.
ඊයේ (01) ටෙනිස් වෘත්තිකයන්ගේ සංගමය, කාන්තා ටෙනිස් සංගමය සහ ජාත්‍යන්තර ටෙනිස් සම්මේලනය ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් රුසියාවේ සහ බෙලාරුස්හි ක්‍රීඩකයින්ට දිගටම තරඟ කිරීමට අවසර දෙන බව නිවේදනය කළේය. නමුත් ඒ රටේ ධජය යටතේ නොව මධ්‍යස්ථ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෙසය.







