රුසියාවේ 14වන හමුදා බලකායේ නියෝජ්‍ය අණදෙන නිලධාරි මේජර් ජෙනරාල් ව්ලැඩිමීර් සවාඩ්ස්කි යුක්රේනයේ දී ඝාතනය කර ඇති බව ඊයේ ( 04) රුසියානු හමුදා විසින් තහවුරු කළේය.
රුසියාවේ Voronezh ප්‍රදේශයේ ආණ්ඩුකාර Alexander Gusev රොයිටර් වෙත වැඩි විස්තරයක් ලබා නොදි පවසා ඇත්තේ සවාඩ්ස්කි “විශේෂ මෙහෙයුම් කලාපයේ සටන් මුරපොලකදී” මිය ගිය බවය.
සවාඩ්ස්කි ඉතා දක්ෂ නිලධාරියෙකු සහ හිටපු යුද ටැංකි අණ දෙන නිලධාරියෙකු වූ අතර, ඔහුගේ මරණය විශාල පාඩුවක් බව Alexander Gusev රොයිටර් වෙත පවසා ඇත.
“විශේෂ හමුදා මෙහෙයුම” යනු රුසියාව යුක්රේනයේ යුද්ධය විස්තර කිරීමට භාවිතා කරන යෙදුමය.
දැන් යුක්රේන යුද්ධයේ දෙවන වසර අවසානය කරා ළඟා වෙමින් තිබේ. ගවේෂණාත්මක පුවත් ආයතනයක් වන iStories උපුටා දක්වමින් රොයිටර් වාර්තා කරන්නේ රුසියාව විසින් මරණය තහවුරු කරන ලද හත්වන මේජර් ජෙනරාල්වරයා සවාඩ්ස්කි බවය. යුද්ධය ආරම්භයේ සිට මියගිය බවට වාර්තා වූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ගණන 12 දෙනෙක් බවද එම වාර්තා අනාවරණය කර ඇත.