ලලිත් චාමින්ද
බේකරි සංගමය කළයුත්තේ පිටි මිල වැඩිවු විගස පාන් ගෙඩියේ මිල රුපියල් 300 දක්වා ඉහල නැංවිම නොව බේකරි කර්මාන්තය තුල ඇතිවි තිබෙන ගැටළුවලට විසදුම් ලබාදිම සදහා රජයට බලකිරිම බැව් දකුණු පලාත් කුඩා හා මධ්‍ය පරිමාණ බේකරි හිමියන්ගේ සංගමය සභාපති කමල් පෙරේරා පවසයි.

අද (04) ගාල්ලේ දි පැවති මාධ්‍ය හමුවකදි හෙතෙම මේ බව සදහන් කළේය. කමල් පෙරේරා මෙසේද කිවේය.
“අපි දිගින් දිගටම කිව්වා මේ බේකරි කර්මාන්තය කඩා වැටෙනව කියලා. දැන් අපේ රටට තිරිගු පිටි ආනයනය කරන්නේ සමාගම් දෙකයි. පිටි හිඟ නිසා බේකරි කර්මාන්තය කරගෙන යන්න විදිහක් නෑ. කළු කඩවල තියනවා. කිලෝව රුපියල් හාරසියයකට. රුපියල් 400ට පිටි කිලෝ එකක් අරගෙන කොහොමද මේ බේකරි කර්මාන්තය කරගෙන යන්නේ. අපේ රටේ තියෙනවා බේකරි සංගමයක් කියලා එකක්. ඒකෙන් හැමදාම කරන්නේ පිටි මිළ වැඩි වුණාද හිතුමතේට පාන් ගෙඩියේ මිල ඉහළ දානවා.“
“පිටි මිල රුපියල් 400ට ගියාම බේකරි සංගමයෙන් උපදෙස් දෙනවා රුපියල් 300 ට පාන් මිල වැඩි කරන්න කියලා. අපි අහනව මහත්තයෝ ඉඳල හිටලවත් බත් කන්නේ නැද්ද. අඩුම තරමේ අඹ ඇට බාගෙක මොළයක් නැද්ද. රුපියල් 300 ක් ගෙවලා ඉතින් එදා කුලී වැඩ කරන මිනිහෙක් කොහොමද පාන් ගෙඩියක් ගෙනියන්නේ.“
“මේ පාන් කියන්නේ සුර සැප විඳින මහා ධන කුවේරයෝ කන කෑමක් නෙමෙයි. දුප්පත් අහිංසක මිනිහෙක් තමයි රෝස් පාන් ගෙඩියක් පාන් කෑල්ලක් කාල ජීවත් වෙන්නේ. අපි කියනවා මේ විකාරෙ වහාම නවත්තන්න. අපිට තේරෙනවා අපේ පාරිභෝගිකයින්ගේ හදවත. මේ මිනිස්සුන්ට එදිනෙදා කුලියක් මලියක් හොයාගන්න නෑ. පස් දෙනෙක් ඉන්න පවුලකට පාන් ගෙඩියක් අරගෙන මොනවා කරන්නද?.“
“අපි රාජ්‍ය මැදිහත්වීමක් දෙන්න. කළුකඩ මුදලාලිලාට එක එක සංගම් වලට ඕන විදියට මේ වගේ තීන්දු තීරණ ගන්න දෙන්න එපා. අපි බේකරි සංයමය සභාපතිවරයාගෙන් අහනව තමුන්නාන්සෙගෙ බේකරියක වැඩකරන සේවකයෙකුට වත් රුපියල් 300 ක ට පාන් ගෙඩියක් ගෙනියන්න පුළුවන්ද කියලා. යැයිද කමල් පෙරේරා සඳහන් කළේය.







