රාගම වෛද්‍ය පීඨ නේවාසිකාගාරයට රජයේ වාහනවලින් ඇතුළු වී සිසුන්ට ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය නවක වද සිදුවීමකට සම්බන්ධ කිරීමට උත්සාහයක් අසාර්ථක වූ ආකාරයක් අභ්‍යන්තර විමර්ශන ආරංචි මාර්ග හෙළි කරයි.
ගැටම සිදුවී ඇත්තේ හතරවන වසරේ සිසු පිරිසක් හා තුන්වන වසරේ සිසුවෙක් අතර වීම නිසා මෙම ප්‍රයත්නය විහිලුවට ලක් වී වැළකී තිබේ.
මේ වනවිට රාගම වෛද්‍ය ශිෂ්‍යයන්ට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධව අත්අඩංගුවට ගත් හය දෙනා අතරේ අරුන්දික ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ පුද්ගලික කාර්යමණ්ඩලයේ සේවකයෙකුට අමතරව එම අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයක සේවකයෙක් ද සිටින බව විමර්ශන ආරංචි මාර්ග පවසයි.
මේ වනවිට මීගමුව රෝහලට ඇතුළත් වූ සැකකාර සිසුවාත් අත්අංඩංගුවට ගෙන ඇත. මේ අත්අඩංගුවට ගැනීමෙන් පසු විමර්ශනවල මූලික අදියර නැවැත්වීමට සැලසුම් වුනත් වෛද්‍ය පීඨ සිසුන් හෙට උද්ඝෝණ ක්‍රියාවලිකට සූදානම් වීමත් සමග ප්‍රහාරයට පැමිණි තවත් පිරිසක් සම්බන්ධව විමර්ශන කණ්ඩායම්වල අවධානය යොමු වී ඇත.
මෙසේ අත්අඩංගුවට ගැනීමට නියමිත පුද්ගලයන් අතර පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශයට සම්බන්ධ තවත් පිරිසක් සිටින බවත් වාර්තා වේ.
මේ අතර සිද්ධියට සම්බන්ධ පුද්ගලයින්ට තරාතිරම නොබලා දඬුවම් දෙන ලෙස තමන් පොලිස්පතිවරයාට දන්වා ඇතැයි මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති සරත් වීරසේකර නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ සමගම පොල් සංවර්ධන අධිකාරියේ සභාපති කීර්ති වීරසිංහ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පොල් සංවර්ධන අධිකාරිය සතු KI 2376 දරන වාහනය රාගම වෛද්‍ය පීඨ මැර ප්‍රහාරය වෙත යොදාගෙන ඇත්තේ කිසිදු බලයලත් නිලධාරියෙක් දැනුම්වත් නොකර බවය.
අත්තනෝමතිකව එම වාහනය එමස්ථානට රැගෙන යෑම සම්බන්ධව පරීක්ෂණයක් පැවැත්වෙන බවත්, එතෙක් රජයේ දේපල අයථා පරිහරණය, රජය අපකීර්තියට පත් කිරීම පිළිබඳ ආයතන සංග්‍රහයේ විධි විධාන අනුව වහාම ක්‍රියාත්මකවන පරිදි අදාල රියදුරුගේ වැඩ තහනම් කළ බවත් සභාපතිවරයා නිවේදනය කරන්නේය.