කීර්ති ප්‍රනාන්දු –
පිටි කිලොව රුපියල් 350කට මිලදී ගෙන පාන් ගෙඩියක් රුපියල් 190ට අලෙවි කළ නොහැකි බව පවසන සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන පාන් ගෙඩියක මිල රුපියල් 250ට හෝ කැමති කෙනෙකුට අලෙවි කර ගැනීමට උපදෙස් දී ඇතැයි පවසයි.
කර්මාන්තයක් ලෙස තමන් පත් වී ඇති අසරණකම පෙන්වා දෙන සභාපතිවරයා කියන්නේ පාන් ගෙඩියක් 190කට අලෙවි කළ නොහැකි බවත් ඊට වඩා වැඩි මිලක් නියම කිරීමෙන් පාන් අලෙවි කරගත නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බවත්ය.
ඇමති හෝ පාරිභෝගික අධිකාරිය නොතකා බිත්තර සංගමය විසින් පාලනය කරන රටක ඒ ආශ්‍රිත කර්මාන්තයක් වූ බේකරි කර්මාන්තය ව්‍යසනයට පත්වීම ගැන බලන්නට කිසිවෙක් නැති බව ද ඔහු කීවේය.
“ ඊයේ වෙනකොට පිටි කිලෝ එක 350යි. පිටි මිටියක් 18500යි. ඔය ගානට පාන් ගෙඩියකින් ලාභ ගන්න රුපියල් 250ට වත් විකුණන්න වෙනවා. මොකද ඕනෑම වෙලාවක පාන් වගේ බේකරි නිශ්පාදනවලින් සියයට පහක් රිටන් එනවා. එතකොට සියලුම ලාභය ඉවරයි. “
“මේ වනවිටත් බේකරි 2000ක් විතර වැහිලා. අවන්වලට ඩීසල් දෙන්න ක්‍රමවේදයක් නෑ. රට ඇතුළෙ වැඩිපුරම තියෙන්නෙ ඩීසල් අවන්. ඒ අවන් ක්‍රියාත්මක කරගන්න නිශ්චිත ක්‍රමවේදයක් නෑ. ලීටරය 700ට විතර ගන්කෙ කළුකඩෙන්. මාගරන්, බිත්තර හිතූ හිතූ ගණන්. රටේ නීතිය නොතකා ඇමති නොතකා බිත්තර සංගමය හැසිරෙනවා. රට පාලනය කරන්නේ බිත්තර සංගමය ද කියලා හිතෙනවා. හැම අතින්ම කර්මාන්තයක් විදිහට අපි බිඳවැටිලා ඉන්නේ. මේ තත්ත්වය තුළ බේකරි හිමියන් පාන් නිශ්පාදනයෙන් ඈත් වේවි.“
ඔහු පැවසුවේය.







