ලලිත් චාමින්ද –
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට දෙවැනි වතාවට පත් වූ සභාපතිවරයා විසින් ඉදිරිපත් කළ අයවැය ලේඛනයත් දෙවැනි වතාවට අද (28)පරාජයට පත්වීම නිසා සභාවේ නිල කාලය අවසන් වීමට ප්‍රථම සභාවේ සියලු මන්ත්‍රීවරුන්ගේ සභිකධූරයන් අහෝසි වන බැව් දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස් රනිල් වික්‍රමසේකර නිවේදනය කළේය. මෙවැනි සිදුවීමක් වාර්තා වන්නේ මෙරට පළාත් පාලන ඉතිහාසයේ ප්‍රථම වතාවට
මේ නිසා සභාවේ නිල කාලය අවසන් වීමටත් ප්‍රථම සභාව ඉබේම විසුරුවා හැරෙන බවද පළාත් පාලන කොමසාරිස්වරයා කිවේය.
පළාත් පාලන මැතිවරණ ආඥා පනත අනුව යම් කිසි ප්‍රාදේශීය සභාවක දෙවැනි වතාවට පත් වූ සභාපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ අයවැය ලේඛනය දෙවැනි වතාවට ද පරාජයට පත්වීමෙන් පසු ප්‍රාදේශීය සභාව ඉබේම විසුරුවා හැරීමට ලක්වෙන බවද හෙතෙම පැවසුවේය.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති නලින් පියදර්ශන (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) ඉදිරිපත් කරනු ලැබූ අයවැය ලේඛනය අද (28) වැඩි ඡන්ද දෙකකින් පරාජයට පත් විය. අයවැය ලේඛනයට පක්ෂව චන්ද 12 ක්ලැබුණු අතර විපක්ෂව ඡන්ද 14 ක් ලැබුණි. මන්ත්‍රීවරු තිදෙනකු ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ නොසිටියහ.
මේ අනුව අයවැය ලේඛනය ඉදිරිපත් කළ දින සිට දින 14 කට පසු ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සියලුම සභිකයින්ගේ සභිකධූර අහෝසි වී මාර්තු මස 6 වන දිනවන විට සභාව විසිරීමට ලක්වෙන බවද පළාත් පාලන කොමසාරිස්වරයා පෙන්වා දෙයි.
ඊට ප්‍රථම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඉල්ලා අස්වීමට ඉඩ ඇති බවද ප්‍රාදේශීය සභා ආරංචි මාර්ග සඳහන් කරයි.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ නිල කාලය නොවැම්බර් මස 04 වැනි දින අවසන් වීමට නියමිතව තිබුණි. ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට බලය හිමි ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කරුණාසේන පොන්නම්පෙරුම පත්විය. ඔහු විසින් ඉදිරිපත් කරනු ලැබූ අයවැය ලේඛනය දෙවැනි වතාවටද පරාජයට පත්වීම නිසා ඔහුගේ සභාපති ධුරය අහෝසි විය.
ඉන් පසු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස නලින් ප්‍රියදර්ශන ඉදිරිපත් පත් කරනු ලැබීය.