මෙරට ධාවනයට තහනම් අධිබල යතුරුපැදි සහිතව පොලිස් ආරක්ෂාව යටතේ සංවිධානය කර තිබූ ආන්දෝලනාත්මක යතුරුපැදි සහ සුඛෝපභෝගී වාහන සහිත වාහන සවාරිය සම්බන්ධව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැදවා තිබේ.
Spin Rider Club නැමැති පුද්ගලික ආයතනයක් විසින් සංවිධානය කර තිබූ මෙම සවාරියේ ගමන්කළ යතුරු පැදි බොහොමයක් ලියාපදිංචි නොකල මෙරට ධාවනයට අවසර නොමැති යතුරු පැදි බව අමාත්‍යාංශයට නිරීක්ෂණය වී තිබේ.
පොලීසියේ නිලධාරීන් පවසන්නේ මෙවන් යතුරුපැදි ධාවනය කිරීම සම්බන්ධයෙන් පොලීසිය විටින් විට කළ වැටලීම්වලින් පසුගිය කාලය තුළ යතුරු පැදි 100 ක් පමණ පොලිස් භාරයට ගෙන අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බවය.
එම යතුරුපැදිකරුවන් පොලීසිවලට කතාකරමින් ඊයේ දිනයේ තමන්ගේ යතුරුපැදි සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ නීතිය මෙයට නැත්තේ ඇයිදැයි විමසා ඇතැයිද පොලිස් නිලධාරීන් රැසක්ම සඳහන් කළහ.
එම සවාරිය පහත දැක්වේ…
එහෙත් පොලිස් මාධ්‍ය අංශය මේ සම්බන්ධව අද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ මෙම ආයතනය සමාජ සත්කාරක ආයතනයක් බවත්, රජයේ කොන්දේසිවලට අනුකූලව මෙම සමාජ සත්කාර ව්‍යාපෘතියට අදාල කොටසක් වූ මෙම සවාරිය සඳහා අවසර ලබාදුන් බවත්ය.
මහරගම අපෙක්ෂා රෝහලට සිදුකළ මුදල් පරිත්‍යාගයකින් පසු කල්පිටිය ප්‍රදේශයේ පාසල් ළමුන් සඳහා පාසල් පොත් බෙදා දීමේ වැඩසටහනකට සමගාමීව එම යතුරුපැදි සවාරිය සඳහා වර්ෂ 2022.03.17 සහ 2020.03.19 දෙදින සඳහා මීරිගම සිට කල්පිටිය හරහා අනුරාධපුරයට ගමන් කිරිමට ඉල්ලූ නීත්‍යානුකූල අවසරය අනුව නියමිත කොන්දේසි ප්‍රකාරව එය ලබා දුන් බවත් පොලිස් මාධ්‍ය අංශය කීවේය.
පොලිස් මාධ්‍ය අංශය මේ යතුරුපැදි සවාරිය සමාජ සත්කාරයක් සඳහා සංවිධානය කළ එකක් බව අවධාරණය කර ඇත්තේය.
එහෙත් මේ පිළිබඳව නැගුණු මහජන විරොධය සහ කොන්දේසිවලට පටහැනිව කටයුතු කිරීම නිසා කල්පිටියේ සිට අනුරාධපුරයට යෑමට තිබූ සවාරිය නතර කිරීමට පොලිසිය කටයුතු කර ඇති බව නිවේදනය කළේය.
මේ සවාරියට සම්බන්ධ වූ පුද්ගලයන් නීති විරෝධීව කටයුතු කර තිබේ නම් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් එම නිවේදනයේ දැක්වේ.