හැටන් රංජිත් රාජපක්ෂ –
හැටන් ප්‍රදේශයේ ප්‍රධාන සංචාරක හෝටලයකට සංචාරක සේවා සමාගමක් හරහා පැමිණි රුමේනියානු ජාතික යුවලක් එරටින් රක්ෂණ මුදල් ලබා ගැනිමට සිදු කළ කුමන්ත්‍රණයක් හෙලිදරව් කර ගැනීමට එම සංචාරක හෝටලයේ පාලන අධිකාරිය සහ දිඹුල පතන පොලිසිය සමත් වී ඇත.
දින 08 ක සංචාරයක් සඳහා මෙරටට පැමිණ ඇති රුමේනියානු ජාතික සංචාරක යුවල (24 –25) දෙදින එම සංචාරක හෝටලයේ නවාතැන් ගෙන (26) දින මහනුවර ප්‍රදේශයේ සංචාරයක් සඳහා පිටත්ව යාමට සැලසුම් කර තිබුන බව එම සංචාරක හෝටලයේ පාලන අධිකාරියේ නිලධාරියෙකු කියා සිටියේය.
දෙස් විදෙස් සංචාරකයන්ගේ වැඩි ආකර්ශනයක් ලබාගෙන ඇති එම සංචාරක හෝටලයට (24) දින පැමිණි එම යුවල හෝටලයේ මිලෙන් අධික කාමරයක් වෙන් කරවාගත් බවත්, (24) දින රාත්‍රියේ රුමේනියානු ජාතික (35) හැවිරිදි කාන්තාව සම්බාහනයක් ලබාගැනිමට අවශ්‍ය බව පවසා ඇති අතර හෝටලයේ පාලන අධිකාරි විසින් එම හෝටලයේ සම්බාහන අංශයේ සේවය කරන කාන්තාවකගේ සේවය ඇයට ලබා දී ඇති බවත් වාර්තා වේ.
එහිදී රුමේනියානු කාන්තාව විසින් හෝටලයේ පාලන අධිකාරිය අමතා පවසා ඇත්තේ තමන්ට අවශ්‍ය වන්නේ පිරිමි පුද්ගලයෙකුගේ සේවාවක් බවයි.
ඇයගේ ඉල්ලිම අනුව සම්බාහන අංශයේ සේවකයෙකු සේවාව ලබාදිමෙන් අනතුරුව එම කාන්තාව සම්බාහන අංශයෙන් පිටතට පැමිණ ස්නානය කර මද වේලාවකින් පසු හෝටලයේ මානව සම්පත් කාලමණාකරණ ඒකකය වෙත පැමිණ තමන්ට සම්බාහන සේවය ලබාදිමට පැමිණි පුද්ගලයා තමන්ට අතවර කිරිමට තැත් කළ බව පැවසිමෙන් අනතුරුව එම හෝටලයේ පාලන අධිකාරිය විසින් ඒ පිලිබදව දිඹුලපතන පොලිසිය වෙත දැනුම් දී ඇත.
හෝටලයේ පාලන අධිකාරියේ දැනුම් දීම මත හෝටලයට පැමිණි පොලිස් නිලධාරින් අතවරයට ලක් වුවේ යැයි කියන රුමේනියානු ජාතික කාන්තාවගෙන් පැමිණිල්ල සටහන් කරගැනිමට යාමේදි ඇය විසින් මේ සඳහා පැමිණිල්ලක් අවශ්‍ය නොවන බවත්, එරටින් රක්ෂණ මුදල් සහ මෙරටට පැමිණි ගුවන් ටිකට්පත්වල මුදල් ලබා ගැනිම සඳහා මෙරට නිතිඥයවරයෙකුගෙන් සිද්ධිය සම්බන්ධයෙන් ලිඛිතව ලිපියක් සහතික කරදෙන ලෙසත් ඉල්ලා ඇත.
තවද තමන් හෝටලයෙන් පිටව යනතෙක් කිසිදු මුදලක් අය නොකරන ලෙසට හෝටලයේ පාලන අධිකාරියෙන් ඉල්ලීමක් කර ඇත.
එම ඉල්ලිම සහ නිතිඥයවරයෙකුගේ ලිපියක් ලබාදිම හෝටල් පාලන අධිකාරිය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. හෝටල් පාලන අධිකාරිය මගින් රුමේනියානු ජාතික යුවල වෙත අවධාරණය කර ඇත්තේ එවැනි සිද්ධියක් සිදු වී ඇත්නම් ඒ සඳහා මෙරට අනුගමනය කළ යුතු ප්‍රධාන ප්‍රවේශය වන්නේ පොලිසිය වෙත පැමිණිලි කිරීම බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් හෝටල් පාලන අධිකාරිය මගින් එම රුමේනියානු ජාතික යුවල හෝටලය වෙත යොමු කර තිබු සංචාරක සේවා ආයතනයට දැනුම් දුන් බව එම සංචාරක හෝටලයේ උසස් නිලධාරියෙකු පැවසුවේය.