යුක්තිය මෙහෙයුම අතරතුර නිරපාරදයේ සිවිල් පුද්ගලයෙකුට හිංසා පැමිණවීම සමබන්ධව පොලිස් නිලධාරීන් පිරිසක් අද (03) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අගතියට පත් පුද්ගලයාගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටියේය.
අත්අඩංගුවට ගත යුතු පුද්ගලයෙකු යැයි වැරදීමකින් නීතිඥවරියකගේ රියදුරෙකු වු කළුතර ප්‍රදේශයේ පදිංචි සෙල්වරාජ් රාජපාන්ඩි නමැත්තෙකු අල්ලාගෙන මහ මඟදී මාංචු දමා ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් වින්දිත පුද්ගලයා
ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම සමාව ඉල්ලීම සිදුවුණි.
මෙම පෙත්සම අද ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පූලි සහ මහින්ද සමයවර්ධනගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී අගතියට පත් පුද්ගලයාගෙන් අධිකරණය ඉදිරියේ සමාව ගනු ලැබුවේ, මීගමුව පොලිස් ස්ථානයට සම්බන්ධ පොලිස් සැරයන් දිසානායක, ප්‍රේමරත්න පොලිස් කොස්තාපල්වරුන් වූ රත්නසිරි, සේනාධිර සහ නානායක්කාර යන සිවු දෙනාය. .
පෙත්සම්කරු කියා සිටින්නේ, ඉකුත් ජනවාරි මස 16 වනදා තමන් මීගමුව අධිකරණයට ගොස් යළි වාහනයෙන් පැමිණි අවස්ථාවේදී යතුරුපැදිවලින් පැමිණි සිවිල් ඇඳුමින් සැරසී සිටි පිරිසක් වාහනය ඉදිරියෙන් මාර්ගය හරස්කොට නැවැත්වූ බවය.
ඉන්පසුව “අපි පොලීසියෙන්” යැයි සඳහන් කළ සිවිල් ඇඳුමින් සැරසි සිටි එම පිරිස තමන්ව පරීක්ෂා කර දෑතට මාංචු දැමූ බවත් තම දකුණු අතේ පච්චයක් තිබේදැයි පරීක්ෂා කළ බවත් පෙත්සම්කරු සඳහන් කළේය.
පසුව තම අතේ පච්චයක් නොමැති බව තහවුරුවීමෙන් පසුව “මෙයා නෙවෙයි…වැරදීමක්” යනුවෙන් සඳහන් කරමින් එම පිරිස පිටව ගිය බවත් පෙත්සම්කරු කියා සිටියේය.
පසුව සිදුකළ සොයා බැලීම්වලදී මෙම නිලධාරීන් පිරිස මීගමුව පොලීසියට අනුයුක්ත පිරිසක් යැයි කරුණු තහවුරු කරගත් බවත් ඒ අනුව මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කළ බවත් පෙත්සම්කරු සඳහන් කළේය.
වගඋත්තරකාර පොලිස් නිලධාරින් එම ක්‍රියාවෙන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා පෙත්සම්කරු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.







