දිනසේන රතුගමගේ –
ඩෙංගු උණ රෝගයෙන් මියගිය බව කියන යාපනය විශ්ව විද්‍යාලයේ ගුණරත්නම් සුපිනා නැමති 25 හැවිරිදි සිසුවියගේ මරණය සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් 27 දා ඉල්ලා ඇත.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන විසින් එසේ වාර්තාවක් ඉල්ලා ඇත්තේ විශ්ව විද්‍යාල සිසුවියගේ මරණය සම්බන්ධයෙන් විශාල සැකයක් ඇති බවට මියගිය ශිෂ්‍යාවගේ ඥාතීන් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට කරණ ලද පැමිණිල්ලකට අනුවය.
එම සිසුවිය මුලින්ම යාපනයේ තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කළ අවස්ථාවේදී ඇය ඩෙංගු රෝගයෙන් පෙළෙන බවට සැකයක් පමණක් ඉස්මතු වූ නමුත් ඇයට ඩෙංගු රෝගය වැළඳී ඇති බව තෙලිප්පලෙයි රෝහලෙන් සනාථ නොකළ බව මියගිය සිසුවියගේ ඥාතීන් ඔවුන්ගේ පැමිණිල්ලේ සඳහන් කොට තිබේ.
පසුව ඇයව යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඇයට ලබා දී ඇති ඖෂධවල අසාත්මිකතාවයක් හේතුවෙන් ඇය මියගිය බවට සනාථ කළ හැකි තොරතුරු ඇති බව ද පැමිණිල්ලේ සඳහන් කොට තිබේ.
ඩෙංගු රෝගියෙකුට සාමාන්‍යයෙන් ඖෂධ ලබා දීමක් සිදු නොකරණ නිසා මෙම මරණය යාපනය ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරුන්ගේ හා කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ල නිසා සිදු වූ මරණයක් බව ප්‍රකාශ කරන සිසුවියගේ ඥාතීන් මේ සම්බන්ධයෙන් විධිමත් හා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා ඇත.







