ජීවිතයෙන් අඩකට වඩා වැඩි කාලයක් දේව සේවය වෙනුවෙන් කැපකර ඇති මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ භාෂා ගණනාවක නිපුණත්වයකින් හෙබි පඬිවරයෙකි; ලේඛකයෙකි; ශුද්ධ බයිබලය පිළිබඳ විශාරදයෙකි; චතුර දේශකයෙකි; වතිකානයේ ඉහළ තානාන්තර රැසක් දැරූ රාජ්‍ය තාන්ත්‍රිකයෙකි. එවැනි බහුවිධ භූමිකාවන් නිරූපණය කරන උන් වහන්සේ ලාංකේය කිතුනු ජනතාවගේ ආධ්‍යාත්මික නායකයා වුවද නිරන්තරයෙන්ම සිංහල බෞද්ධ සංස්කෘතික උරුමයන් අගය කරන්නෙකි. ආගමික සහජීවනය මහපොළොවේ යථාර්ථයක් බවට පත් කිරීමට කැප වූ නායකයෙකි.
දොන් විලියම් සහ මේරි විනිෆ්‍රීඩා දම්පතීන්ට දාව 1947 නොවැම්බර් 15 දා පොල්ගහවෙලදී උපන් කුලුඳුල් පුත්රුවනට නම් තැබෙන්නේ පටබැඳිගේ දොන් ඇල්බට් මැල්කම් රංජිත් ලෙසිනි.
ගමන් මඟ
“මගේ පියා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කළ නිසා ඔහු මාරුවීම් ලබා යන යන ප්‍රදේශවලට අපටත් යන්න සිදු වුණා. නංගිලා තුන්දෙනත් ඉපදුණාට පස්සේ අපි අන්තිමට කොළඹට ඇවිත්, මගේ මවු පාර්ශ්වයේ ගම වූ මෝදර පදිංචි වුණා. මුලින්ම මම ගියේ ගමේ සිංහල පාසලට. ඊට පස්සේ මෝදර ‘ද ලාසාල්’ විද්‍යාලයට ඇතුළත් වුණා. ඒ කාලේ අපේ ගේ තිබුණේ පල්ලිය ළඟමයි. පල්ලි නොගියත් දේව මෙහෙය අපට හොඳට ඇහෙනවා. ඒ කාලේ හිටපු ප්‍රංශ ජාතික පියතුමා කුඩා අප නිතරම පල්ලියේ වැඩකටයුතුවලට සම්බන්ධ කරගත්තා.
පියතුමකු වීමේ මගේ ආශාව තවත් මෝරලා වැඩුණේ පාසල් ශිෂ්‍යයකු විදිහට මඩු පල්ලියේ තිබුණු ඥානකාන්තියකට සහභාගි වීම නිසා. එහිදී මට ෆ්‍රෑන්ක් මාකස් ප්‍රනාන්දු පියතුමා හමු වුණා. ඊට පස්සෙත් අවස්ථා දෙක තුනකදී උන් වහන්සේ හමු වුණාම නිතරම මගෙන් අහපු ප්‍රශ්නයක් තමයි, ‘කල්දේරම් බත් කන්න එන්නෙ නැද්ද?’ කියලා. ඒ ආරාධනාවයි, හිතේ තිබුණු හීනයයි දෙකම නිසා මට හිතුණා පූජා ප්‍රසාදිවරයකු වීමේ සිහිනය සැබෑ කරගන්න දෙව්සත්හලට ඇතුළත් විය යුතුයි කියලා.”
“මේ අතරේ මා රැකියාවක් සොයාගන්න මහන්සි වුණා. ඒත් අවුරුද්දකට දෙකකට රැකියා දෙන්න කවුරුත් කැමැති වුණේ නැහැ. ඒත් එවක විසූ කාදිනල්තුමා කිවුවනේ රැකියාවක් කරන්න කියලා. මට ‘සෙඩෙක්’ ආයතනයේ රැකියාවක් හොයාගන්න පුළුවන් වුණා. ඒ කාලේ ගංවතුරක් ඇවිත් සූරියකන්දෙන් කොටසක් කඩාගෙන ගිහින් පවුල් 26ක ගෙවල් කැඩිලා උන්හිටි තැන් නැතිවෙලා. ඔවුන්ට රජයෙන් ඉඩම් දීලා තිබුණා කොළොන්න ප්‍රදේශයේ. සෙඩෙක් ආයතනයේ එවකට සිටි අධ්‍යක්ෂ පියතුමා ඒ ඉඩම් සංවර්ධන ව්‍යාපෘතිය භාරව මාව යැවුවා. මා එහේ ගිහින් ප්‍රාදේශීය ලේකම්තුමාගේ නිල නිවෙසේ පදිංචි වෙලා ඒ වැඩ කටයුතු කළා.
ගුරු භූමිකාව
“එහෙ කාලයක් වැඩ කළාට පස්සේ එවකට සිටිය කාදිනල්තුමා මට කිවුවා ඇවිත් කෝට්ටේ සාන්ත තෝමස් විද්‍යාලයේ ගුරුවරයකු විදිහට වැඩ කරන්න කියලා. මේ විදිහට අවුරුදු එකහමාරක් විතර ගියාට පස්සේ මා කාදිනල්තුමාට කිවුවා, ආයේ පූජාත්වරය ලබාගන්න කැමැතියි කියලා. ඒ අදහසට මගෙ පියා කැමැති වුණේ නැහැ. එහෙත් මගෙ හිතේ ස්ථිර අදහසක් තිබුණා, පූජකතුමකු වෙන්න තැබූ අඩිය ආයේ පස්සට ගන්නෙ නෑ කියලා. ඒ අනුව මා නැවත දෙව්සත්හලට ඇතුළත් වුණා. දේවධර්මවේදී උපාධිය හැදෑරීමට කාදිනල්තුමා මාව රෝමයේ ‘උර්බානු’ විශ්වවිද්‍යාලයට යැවුවා.Ó
එහිදී අප්‍රිකාව, ආසියාව, දකුණු අමෙරිකාවට අයත් රටවල් 43කින් පැමිණි සිටි සිසුන් සමඟ පූජාත්වරයට සූදානම් වීමේ අන්තර්ජාතික අත්දැකීම ලබමින් විවිධ සංස්කෘතීන්, ජාතීන්ගේ වෙනස්කම් හඳුනාගැනීමටත් ඒ අතර ජීවත් විය යුතු ආකාරය අවබෝධ කරගැනීමටත් උන්වහන්සේට හැකි විය. විශේෂයෙන් සිංහල, ඉංග්‍රීසි සහ දමිළ භාෂාවලට අමතරව ඉතාලි, ජර්මානු, ප්‍රංශ, හෙබ්‍රෙව්, ග්‍රීක, ලතින් සහ ස්පාඤ්ඤ භාෂා ප්‍රගුණ කළ උන්වහන්සේ උපාධිය ලබාගැනීමෙන් පසුව රෝමයේදීම පූජාත්වරය ලබාගැනීමට විශේෂ අවසරයක් ලැබූහ.
“මා කුඩා කාලයේදී ඉගෙනුමට අති දක්ෂතා දැක්වූ ශිෂ්‍යයෙක් නෙවෙයි. ඒත් මහන්සි වෙලා ඉගෙනගැනීමට සහ ඉගෙනගත් දෙයින් ප්‍රයෝජන ගැනීමට මා තුළ විශාල උනන්දුවක්, කැපවීමක් තිබුණා. ඒ නිසාම පූජාත්වරයේ සිට පශ්චාද් උපාධිය දක්වා මගේ අධ්‍යයන කටයුතු ඉතා සාර්ථකව සිදු කිරීමෙන් පසු නැවත ලංකාවට ආවා. මගේ පූජක දිවියේ වැදගත් ඊළඟ පරිච්ඡේදය ආරම්භ වුණේ ඉන් පසුවයි. මා පත් කෙරුණේ පමුණුගම මීසමේ කැපුන්ගොඩ, දුන්ගල්පිටිය කියන දේවස්ථාන භාරවයි.”
කටුකත්වය
“මා නවාතැන් ගත්තේ පල්ලිය පිටිපස්සේ මුහුද අයිනට වෙන්න තිබුණු සංක්‍රිස්තියන් කාමරේ. නිදාගත්තේ කොහු ලණුවලින් වියපු ඇඳක පැදුරක් දාගෙන. බාත්රූම් නැහැ. තනිකරම වැල්ල නිසා ළිඳක්වත් තිබුණේ නැහැ. පූජාවට උදවු වන දරුවන් සතියකට සැරයක් ටිකක් ඈත තිබුණු ළිඳකින් වතුර ගෙනැවිත් ටැංකියක් පුරවනවා. සතියක් විතර මා අරපරිස්සමෙන් පාවිච්චි කරන්නේ ඒ වතුර ටික. පල්ලි දෙකේ වැඩ කරන අතරේ මා පමුණුගම මීසමේ පොදු වැඩවලටත් උදවු වුණා.”
ඉන් අනතුරුව තවත් මීසම් කිහිපයක සේවය කළ මැල්කම් රංජිත් පියතුමා කොළඹ අගරදගුරු පදවියේ සමාජ සේවා ආයතනය වන ‘කරිටාස්’ ආයතනයේ අධ්‍යක්ෂ පියතුමා ලෙස යුක්තිය, සාමය හා සංවර්ධනය පිළිබඳ කටයුතු කරමින් ‘සෙත්සරණ’ ආයතනය පිහිටුවීමටද කටයුතු කළේය. එහිදී ජනතා සුබසිද්ධිය වෙනුවෙන් සක්‍රිය සේවාවක් ඉටු කිරීමට උන්වහන්සේට හැකි විය. ශුද්ධෝත්තම පියතුමාගේ අන්තර්ජාතික ධර්මදූත සංගම්වල ශ්‍රී ලාංකේය නියෝජිතවරයා ලෙස කටයුතු කරමින් සිටියදී කොළඹ අගරදගුරු පදවියේ සහායක රදගුරුතුමකු ලෙස පත්වීම් ලැබීම විශේෂ අවස්ථාවක් විය.
මෙහෙවර
“ඒ වෙද්දි මගේ ආධ්‍යාත්මික අධ්යක්ෂව සිටි ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන්ද කොළඹ පදිවියේ සහායක රදගුරු විදිහට කටයුතු කරමින් හිටියා. මට වඩා අවුරුදු ගණනක් වැඩිමහල් වගේම, මට වඩා බොහෝ අත්දැකීම් ඇති එතුමා සමඟ එකට සේවය කිරීමට ලැබීමත් භාග්‍යයක් වුණා. මම මීසම්වල පරිපාලන කටයුතු සම්බන්ධ වගකිවයුතු නිලයක කටයුතු කරමින් සිටින අතර, 1995 ජනවාරි මාසේ පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය සංවිධානය කිරීමේ කමිටුවේ සභාපති ලෙස කටයුතු කළා. සංචාරය අවසන් කර පිටත් වීමට පෙර මා පාප් වහන්සේට සුබ පතන්න වතිකාන තානාපති නිවෙසට ගිය අවස්ථාවේ උන් වහන්සේ මගෙන් ඇහුවා, පදවියක් භාර ගන්න කැමැතිද කියලා. මා කිවුවා, “මම කවදාවත් කිසි දෙයක් ඉල්ලලත් නැහැ, ඉල්ලන්නෙත් නැහැ, ඕනෑම තැනකට යවන්න,” කියලා. “එහෙම නම් ලෑස්ති වෙලා ඉන්න,” කියලා උන් වහන්සේ කිවුවා. නොවැම්බර් මාසයේ ගාල්ල පදවිය දෙකට බෙදලා කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික්ක දෙක රත්නපුර පදවිය කියලා නම් කරලා ඒක මට භාර දුන්නා.
තවත් වසර 6ක් පමණ යද්දි මට නැවතත් මාරු වීමක් ලැබුණා. පූජක ජීවිතය කියන්නෙ එහෙම ගමනකට; ස්ථිර තැනක් නැහැ. යන්න කිවුවාම බඩු පෙට්ටිය අකුළාගෙන යා යුතුයි. ඒ සැරේ මාව යැවුවෙ රෝමයට. එය විවිධ හැලහැප්පීම් ඇතුළු අමිහිරි අත්දැකීම් මැද ගත වුණු කාලයක්. ධර්මදූත සංගම්වල අන්තර්ජාතික සභාපති ධුරය දරමින්, අගරදගුරුවරයකු ලෙසත් කටයුතු කළා. ඊළඟ පත්වීම ලැබුණේ ශුද්ධෝත්තම පාප් වහන්සේගේ තානාපති රදගුරු විදිහට ඉන්දුනීසියාවට. සාමාන්‍යයෙන් ඒ තනතුරට පත් කරන්නේ ඒ වෙනුවෙන් විශේෂ නිකේතනයක වසර ගණනක් අධ්‍යාපන ලබලා, විභාග සමත් වෙලා, ලේකම් පියතුමකු ලෙස කටයුතු කළාට පසුවයි. ඒත් ඒ කිසිම සුදුසුකමක් හෝ පුහුණුවක් නැතිව මා ඒ තනතුරට පත් කළා. මා හැම විටම ප්‍රශ්න කිරීමකින් තොරව දුන්න පත්වීම පිළිගත්තා.
ඉන්දුනීසියාව කියන්නේ ඉතා දියුණු ඉස්ලාමීය රටක්. වසර දෙකක සේවා කාලයකින් පසු ශුද්ධෝත්තම පියතුමා නැවත මාව රෝමයට කැඳවා, ජන වන්දනා සහ සක්‍රමේන්තු පිළිබඳ සසුන් නියෝජිත ලේකම් ලෙස පත් කළා. එහි වසර පහක සේවයකින් පසු නැවත ලංකාවට පැමිණියා.”
එය මවුබිම ත්‍රස්තවාදී යුද්ධයෙන් ගිනි ගනිමින් තිබූ අවධියයි. 1995 අප්‍රේල් කතෝලික සභාව විසින් ආරම්භ කරන ලද ජාතික සම්මේලනයේ සාමය පිළිබඳ විෂයය මෙහෙයවනු ලැබුවේ මැල්කම් රංජිත් රදගුරුවරයාය. යුද්ධය ඉතා දරුණු ලෙස ඇවිළෙද්දී එවකට ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග හමු වී සාමය වෙනුවෙන් සාකච්ඡා පැවැත්වීමේ අවශ්‍යතාව මතු කරමින් මන්නාරමේ රදගුරුතුමාගේද සහාය ඇතිව නෝර්වේ ඇතුළු අන්තර්ජාතික සංවිධාන සහ එල්ටීටීඊය සමඟ සාකච්ඡා කර 2001 වසරේදී අවි බිම තැබීමේ ගිවිසුම අත්සන් කිරීමටද උන්වහන්සේ දායක වූහ.
බෙනඩික්ට් පාප් වහන්සේ විසින් උන් වහන්සේ 2009දී කොළඹ අගරදගුරු ලෙසත්, 2010දී කාදිනල් තනතුරටත් පත් කරන ලද අතර, 2010දී ශ්‍රී ලංකා රදගුරුවරුන්ගේ සම්මේලනයේ සභාපති ලෙස තේරී පත් වූහ. අධ්‍යාපනයේ අගය මනාව වටහාගත් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ 2015දී මීගමුවේදී 16 වැනි බෙනඩික්ට් සංස්කෘතික ආයතනය ස්ථාපිත කිරීමේ නියමුවාද වූහ. (සුරේකා නිල්මිණි ඉලංකෝන් – දිනමිණ )







