මනම්පිටිය නිමල් ජයරත්න / බකමූණ රූමේෂ් එම් වීරසේකර –
ඉහල ජල පෝෂක ප්‍රදේශයන්ට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශය අද (20) වාන් දැමීම ආරම්භ වී තිබිණි.
එහි වාන්දොරටු පහෙන් වාන් දොරටු දෙකක්, අඩි හතර හමාර බැගින් අද සවස විවෘත කිරීමට පියවර ගත් බව මොරගහකන්ද සහ කළුගඟ ජලාශ කාර්යභාර ඉංජිනේරු පී.එස්. බණ්ඩාර සඳහන් කළේය.
විවෘත කළ වාන් දොරටු දෙකෙන් තත්පරයට ගණ අඩි 4000 ක ජල කඳක් අඹන්ගඟට මුදා හැරෙන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මොරගහකන්ද සහ කළුගග ජලාශ භාර ඉංජිනේරුවරයා කීවේය.
මොරගහකන්ද ජලාශයේ අක්කර එක් ලක්ෂ හැටදාහක විහිදුණු ජල ධාරා ප්‍රදේශයක් පිහිටා තිබෙන අතර, දළ වශයෙන් වර්ග කිලෝමීටර් තිහකට ආසන්න භූමියක පැතිර ඇති ජලාශයේ ජලය අක්කර අඩි ලක්‍ෂ හතර හමාරක ආසන්න ප්‍රමාණයක් ගබඩා කරගැනීමට හැකියාව තිබේ.
පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ධාරිතාවය මෙන් සිව්ගුණයක් ධාරිතාව සහිත මොරගහකන්ද ජලාශය,මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික් වලට මායිම්ව පිහිටා ඇත.







