චීනයෙන් පොහොර ගෙන්වූ ව්‍යාධි ජනක අඩංගු පොහොර නැව ආපසු චීනයට ගෙන ගොස් ඒ වෙනුවට ශ්‍රි ලංකාව විසින් ඉල්ලුම් කරන ලද ආකාරයට පවතින පොහොර යළි රැගෙන එන්නේනම් ඒවා පරීක්ෂාවකින් පසුව භාර ගන්නා බවට අදාළ සමාගම වෙත දැනුම් දී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද (09) පාර්ලිමේන්තුවේදී පැවසීය.
අදාළ සමාගම තමන් විසින් ඉල්ලුම් කරන ලද නිර්ණායකවලට අනුව පොහොර සැපයීමට අපොහාසත් වී තිබිය දී මෙම පොහොර තොගය සහිත නැවට ශ්‍රි ලංකාව තුළට ඇතුළුවීමට නොහැකි වූයේ තමන් කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කෙළින් සිට ගත් නිසා බව අමාත්‍ය අලුත්ගමගේ සඳහන් කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් පාර්ලිමේන්තුවේදී අසන ලද පැනයකට පිළිතුරු වශයෙනි
එහිදී තවදුරටත් අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍යවරයා චීනයේ ක්ව්න්ඩාවො සීවින් බයෝටෙක් සමාගම කාබනික පොහොර සැපයීම සඳහා තෝරා ගත්තේ ටෙන්ඩරයට ලංසු ඉදිරිපක් කළ සමාගම් 25ක් අතරින් තෝරා ගැනුණු සමාගම් හතර අතරිනුත් සුදුසුම සමාගම ලෙස සලකා බැලීමෙන් පසුව වුවද ඔවුන් විසින් එවන ලද පොහොර තොගය ශ්‍රි ලංකාව විසින් අපේක්ෂා කරන ලද නිර්ණායකවලට අනුකූල ඒවා නොවූ බවද පැවසීය.
එබැවින් කිසිදු තත්ත්වයක් මත මෙම පොහොර තොගය ශ්‍රි ලංකාවට ලබා නොගන්නා බව සඳහන් කළ අමාත්‍යවරයා කාබනික පොහොර නිසි ප්‍රමිතියෙන් යුතුව යළි රැගෙන පැමිණියහොත් එම පොහොර ලබා ගැනීමට කටයුතු කරනු ඇති බව ද කීය.
ගොවීන් විසින් ඉල්ලා සිටිනු ලබන පොහොර අවශ්‍යතාව කාබනික හෝ රසායනික පොහොර හදිසියේ ගෙන්වීම ප්‍රායෝගිකව අපහසු බැවින් ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන පොහොර ගෙන්වීමට කටයුතු කළ බව සඳහන් කළ අමාත්‍යවරයා මෙම ගනුදෙනු පිළිබඳව ඇතැමුන් චෝදනා කළ ද කෘෂිකර්ම බලධාරීන්ගේ නිර්දේශ මත ඉතා වගකීම් සහගතව මෙම ඉන්දියානු නැනෝ පොහොර ගෙන්වීමට කටයුතු කළ බව සඳහන් කළේය.
ක්වින්ඩාවො සීවින් බයෝටෙක් සමාගමේ කළමනාකාරීත්වය නියෝජනය කරන පිරිසක් මේ වනවිට ශ්‍රි ලංකාවට පැමිණ සිටින අතර ඔවුන ඊයේ (08) කෘෂිකර්ම අමාත්‍යවරයා සමඟද සාකච්ඡා කර ඇත.







