ලලිත් චාමින්ද –
මෙරට අධිකරණවල ඉකුත් වර්ෂය (2023) අවසන් වනවිට විසඳීම සදහා නඩු එකොළොස් ලක්ෂ ,විසි දෙදහස්, එකසිය දහතුනක් (1,122,113) ගොඩගැසි ඇති බැව් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය විසින් නිකුත්කොට ඇති වාර්ෂික කාර්යසාධන වාර්තාවේ සඳහන් වේ.
කාලයක් තිස්සේ විශාල නඩු සංඛ්‍යාවක් විසඳීම සදහා අධිකරණවල ගොඩගැසි තිබිම මේ වනවිට අධිකරණ ක්ෂේත්‍රය මුහුණදි ඇති දැවැන්තම අර්බුදය බව ද මෙම වාර්තාවේ සඳහන් වේ.
විසඳීමට ඇති නඩු අතුරින් විශාල සංඛ්‍යාවක් මහේස්ත්‍රාත් අධිකරණ හා දිසා අධිකරණවල ගොඩගැසි ඇති බවද මෙකි කාර්යසාධන වාර්තාවේ සඳහන් වේ.
2015 වර්ෂයේ දී මෙරට අධිකරණවල නඩු හත් ලක්ෂ, දහතුන් දහස්, පන්සිය විසි හතක් (713,527) විසඳීම සඳහා ගොඩගැසි තිබු අතර 2023 වර්ෂයේ 12.31 දින වනවිට විසඳීම සදහා අධිකරණවල ගොඩගැසි ඇති නඩු සංඛ්‍යාව එකොළොස් ලක්ෂ, විසි දෙදහස්, එකසිය දහතුනක් දක්වා ඉහළ ගොස් තිබුණි.
මෙරට මහේස්ත්‍රාත් අධිකරණවල විසඳීම සදහා ගොඩගැසි ඇති නඩු සංඛ්‍යාව 8,05,502කි. දිසා අධිකරණවල ගොඩගැසි ඇති නඩු සංඛ්‍යාව 2,59,763කි. අධිකරණවලට යොමුවන ආරවුල්වලට සමානුපාතිකව සිටින විනිශ්චයකාරවරුන් සංඛ්‍යාව ප්‍රමානවත් නොවිම නඩු ප්‍රමාදයට බලපාන ප්‍රධාන හේතුවක් ලෙස හඳුනාගෙන තිබුණි.
මේ වනවිට මෙරට ජනගහනයෙන් මිලියනයකට සිටින විනිසුරුවන් සංඛ්‍යාව 19කි.
මෙරට අධිකරණවල පවතින මෙම තත්ත්වය රටේ දේශිය ආර්ථික සංවර්ධනයට අහිතකර ලෙස බලපා ඇති අතර ජාත්‍යන්තර් ශ්‍රේණිගත කිරිම්වල ශ්‍රිලංකාව පහළට යෑමට මෙය හේතුවක් වි තිබුණි.
මෙය ශ්‍රිලංකාව තුළ අයහපත් ආයෝජන පරිසරයක් නිර්මාණය කිරීමට මෙන්ම විදේශ ආයෝජන අධෛර්මත් කිරිමට හේතු වි ඇති බව මෙම වාර්තාවේ සදහන් වේ.







