ලලිත් චාමින්ද –
රජයේ මුද්‍රණ දේපාර්තමේන්තුව විසින් අයවැය චක්‍රලේඛ විධිවිධාන උල්ලංඝනය කරමින් සමස්ත අතිකාල දිමනා හා වෙනත් දිමනා ගෙවිම් සඳහා ඉකුත් වර්ෂයේ දි (2023) අනුමත ප්‍රතිපාදන ඉක්මවා සියයට 60.39ක් වැඩියෙන් වියදම් කොට ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සේවකයින් සදහා ඉකුත් වර්ෂයේ (2023) සහ මෙම වර්ෂයේ ජනවාරි හා පෙබරවාරි මාස දෙකද ඇතුළුව අතිකාල හා වෙනත් දිමනා ලෙස රුපියල් එකසිය පනස්නව කෝටි, දශලක්ෂ හැත්තෑහය දහස්, අටසිය අනුපහක මුදලක් (1,591,076,895) ගෙවා තිබුණි.
මෙම වර්ෂයේ (2024) ජනවාරි හා පෙබරවාරි මාස දෙක තුළ අතිකාල හා වෙනත් දිමනා ලෙස රුපියල් දහතුන්කෝටි, තිස්හය ලක්ෂ, දහසය දහස්, නවසිය අසු හතක මුදලක් (133,616,987) ගෙවා ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
2023 වර්ෂයේ දී අතිකාල හා වෙනත් දිමනා ලෙස අයවැය මගින් රුපියල් අනූනව කෝටි, විසි ලක්ෂයක (992,000,000) ප්‍රතිපාදන අනුමත කොට තිබුණි.
මුදල් අමාත්‍යංශය විසින් 2023 වර්ෂයේ ජනවාරි 27 වැනිදින නිකුත් කරණු ලැබු අයවැය චක්‍ර ලේඛය මගින් අතිකාල හා නිවාඩු දින වැටුප් සහ වෙනත් දිමනා සදහා ප්‍රතිපාදන අවම වශයෙන් සියයට හයකින් අඩුකළ යුතු බවට අවධාරණය කර තිබුණි.
එමෙන්ම ආයතන අධ්‍යක්ෂකගේ කිසිදු අනුමැතියක් තොරව මුද්‍රණ දේපාර්තමේන්තුව විසින් 2023 වර්ෂයේ දි සිය සේවකයින් සදහා කෑලි ගණනට දිමනා ලෙස රුපියල් අසුඑක් කොටි, හතලිස් හතර ලක්ෂ, හැත්තැ හය දහස්,අටසිය හැත්තැ එකක ( 814,476,871) මුදලක් ගෙවා තිබුණි.
ආයතන අධ්‍යක්ෂකවරයා විසින් කෑලි ගණනට දිමනා ගෙවන ලෙද අනුමතකොට ඇත්තේ 2018 වර්ෂයට පමණක් බවද විගණන වාර්තාවේ සදහන් වේ.
එමෙන්ම නිෂ්පාදන තත්ත්වය නගා සිටුවිම සඳහා ගෙවනු ලබන දිමනා දැනට සේවකයෙකු ලබන වැටුපෙන් සියයට 65ක් වන සේ 2018 වර්ෂය දක්වා අනුමත කොට තිබුණි. එහෙත් රජයේ මුද්‍රණ දේපාර්තමේන්තුවේ සේවකයින් සදහා ඔවුන්ගේ මාසික වැටුපෙන් සියයට 65 ඉක්මවා සියයට 102 සිට සියයට 353 දක්වා විවිධ වර්ගයේ දිමනා මාසිකව ගෙවා තිබුණි.
මුද්‍රණ දේපාර්තමේන්තුවේ මාණ්ඩලික නිලධාරින්ට වාණිජ මුද්‍රණ දිමනාව ගෙවිමේ දි කොන්දෙසි තුනක් සපුරාලිය යුතු බවට අමාත්‍ය මණ්ඩල තිරණයේ දක්වා තිබුණි.
එහෙත් 1998 වර්ෂයේ සිට මෙම කොන්දෙසි තුන සපුරාගෙන නොතිබුණි.
එහෙත් 2023 වර්ෂයේ දි මෙම කොන්දෙසි සපුරා ගෙන නොමැතිව වාණිජ මුද්‍රණ දිමනාව ලෙස රුපියල් එක් කෝටි, හැත්තෑ හතරලක්ෂ, විසිනම දහස්, දෙසිය හතලිස් හතරක මුදලක් (17,429,244) ගෙවා ඇති බව විගණනය මගින් අනාවරණය කොට ඇත.







