සිමාසහිත ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම එකම දේපළක් ලංකා බැංකුවට සහ මහජන බැංකුවට ඇපයට තබා ණය ලබාගෙන තිබේ දැයි කෝප් කමිටුවේ අවධානයට ලක් විය.
මේ පිළිබඳව සාකච්ඡා කෙරුණේ ලංකා බැංකුවේ 2018, 2019 මුදල් වර්ෂ සඳහා වූ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ සාකච්ඡා කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය චරිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් අද (24) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
මෙහිදී පසුගිය වසර පහක කාලය සඳහා ඉහළම අක්‍රීය ණය ශේෂ සහිත සමාගම් කිහිපයක් පිළිබඳ සාකච්ඡා කෙරුණු අතර එම සාකච්ඡාවේදී සිමාසහිත ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම පිළිබඳ මෙසේ අවධානය යොමු විය. මේ අනුව සිමාසහිත ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම 2021 වර්ෂය වන විට ලබාගෙන ඇති ණය වෙනුවෙන් ඇපයට තබා ඇති දේපළ පිළිබඳ පැමිණ සිටි මන්ත්‍රීවරු විසින් ලංකා බැංකු නිලධාරීන්ගෙන් විමසන ලදි. මෙහිදී එම නිලධාරීන් අදාළ දේපළ පිළිබඳ විස්තර හෙළිකිරීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා සඳහන් කළේ පසුගියදා කෝප් කමිටුව හමුවට මහජන බැංකුව කැඳවූ අවස්ථාවේදී එම නිලධාරීන් පැවසුවේද අදාළ සමාගම මෙම දේපළම ඇපයට තබා මහජන බැංකුවෙන්ද ණය ලබාගෙන ඇති බවයි.
ඒ අනුව ආසන්න වශයෙන් මෙම බැංකු දෙකෙන් එකම දේපළ ඇපයට තබා රුපියල් බිලියන 7 ක පමණ ණය මුදලක් ලබාගෙන ඇති බවයි. මේ නිසා මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කළ යුතු බව මෙම මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.
මේ අවශ්‍යතාව මෙහිදී කෝප් කමිටු සභාපතිවරයාද පෙන්වා දුන් අතර මෙවැනි බරපතල කරුණු සම්බන්ධයෙන් වැඩි අවධානය යොමු කළ යුතු බවද හෙතෙම පැවසීය. මේ අනුව ඉදිරියේදී අදාළ බැංකු දෙකම කෝප් කමිටුවට කැඳවා මේ පිළිබඳ වාර්තාවක් සකස්කොට එම වාර්තාවද සමගින් මෙම කරුණ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව කෝප් කමිටු සභාපතිවරයා සඳහන් කළේය.