එල්ලවූ විරෝධය හමුවේ ක්‍රියාත්මක කිරීමට නොහැකි වු පසුගිය රජය හඳුන්වා දුන් ඉන්ධන මිල සූත්‍රය අද වන විට ක්‍රියාත්මක කිරීමට සිදුවී ඇති බව අද ( 24) පාර්ලිමේන්තුවේ පැවැති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසුවේය.
එබැවින් වත්මන් අසීරු ආර්ථික තත්ත්වය තුළ දීර්ඝකාලීන ආර්ථික ස්ථාවරය සඳහා ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණවලට දේශපාලන වාසි නොතකා සහයෝගය ලබා දෙන ලෙසත් මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඉල්ලීමක් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා ගේ ප්‍රධානත්වයෙන් වත්මන් ආර්ථික අර්බුදය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මහබැංකු අධිපති (ආචාර්ය) නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු නිලධාරීන් අද රජයේ මුදල් පිළිබද කාරක සභාවට කැඳවූ අවස්ථාවේදී මහබැංකු අධිපතිවරයා මේ බව පැවසීය.
වත්මන් ආර්ථික අර්බුදය විසඳමින් මෙරට ස්ථාවර ආර්ථිකයක් ක්‍රමිකව ගොඩනැගීම සඳහා ගතයුතු ප්‍රතිපත්තිමය තීරණ සහ අදාළ ඉදිරි ගමන් මග පිළිබද පූර්ණ වාර්තාවක් කාරක සභාවට ලබා දෙන ලෙස මුදල් කාරක සභා සභාපති අනුර ප්‍රියදර්ශන යාපා මෙහිදී නිර්දේශ කළේය.
ඒ අනුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඊට අවශ්‍ය සහය ලබා දීමට අපේක්ෂා කරන බවත් මුදල් කාරක සභා සභාපතිවරයා පැවසීය.