දිනසේන රතුගමගේ –
කොටි සෙබළියන්ගේ බවට සැකකෙරෙන ඇට සැකිලි කොටස් නිල ඇදුම් කොටස් හා ආයුධ හමු වීම නිසා කොක්කුතුඩුවායි සමූහ මිනී වලේ කැණීම් කටයුතු මුලතිව් මහෙස්ත්‍රාත් ටී.සරවන රාජාගේ අධීක්ෂණය යටතේ තවදුරටත් සිදුවෙමින් ඇත.
සමූහ මිනී වලේ කැණීම් කටයුතු සිදු කරගෙන යන පිරිසට සමූහ මිනී වලේ තිබී බෝම්බ හා පතරොම් කීපයක් ද ඊයේ ( 8) හමු වී තිබිණි.

මහා යුද්ධයේ අවසන් කාලයට ඉතා ආසන්න කාලයේ මෙම සමූහ මිනී වලේ දමා ඇත්තේ කොටි සෙබලියන් බවට තොරතුරු අනාවරණය වන අතර දෙමළ දේශපාලනඥයින් මෙම සමීහ මිනී වලේ වළ දමා ඇත්තේ යුද හමුදාවෙන් ඝාතනය කරණ ලද කොටි සෙබළියන්ගේ මළ සිරුරු බව ජාත්‍යන්තරයට පෙන්විමට විශාල උත්සහයක් දරමින් සිටින බව වාර්තා වේ.
දෙමළ පක්ෂ කීපයක් විසින් යාපනයේ පවත්වන ලද සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් ඉතා දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කොට ඇති අතර කොක්කුතුඩුවායි සමූහ මිනි වලේ ඝාතකයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරණ ලෙස ඉල්ලමින් මේ මස අවසානයේදී උතුරු නැගෙනහිර පුරා උද්ඝෝෂණයක් දියත් කිරීමටද එම සාකච්ඡාවේදී තීරණය කොට තිබේ.
නමුත් මහා යුද්ධයේ අවසන් කාලයට ඉතා ආසන්න කාලයේ ශ්‍රී ලංකා යුද හමුදාව පමණක් නොව කිසිදු ආරක්ෂක අංශ කණ්ඩායමක් මුලතිව් කොක්කුතුඩුවායී ප්‍රදේශයේ නොසිටි නිසා දෙමළ දේශපාලන පක්ෂ විසින් ගොඩ නැගීමට යන තර්කය සම්පූර්ණයෙන්ම අසත්‍යක් වනු ඇති බවත් මේ වළ දැමීම යම් හේතුවක් නිසා එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් විසින්ම සිදුකිරීමේ අවකාශය බෙහෙවින්ම වැඩි බවත් විමර්ශන අංශ කියයි.







