දිනසේන රතුගමගේ –
මුලතිව් කොක්කුතුඩුවායී මඩී ප්‍රදේශයෙන් හමු වූ එල්.ටී.ටී..ඊ කාන්තා සමූහ මිනී වලේ කැණීම් කටයුතු ජූලි මස 6 වෙනිදා ආරම්භ කරණ ලෙස මුලතිව් මහේස්ත්‍රාත් ආර්.සරවනරාජා ඊයේ (1) කෝකිලායී පොලිසීයට නියෝග කොට තිබේ.
ජාතික ජල පවාහන මණ්ඩලය විසින් මේ ස්ථානයේ සංවර්ධන කටයුත්තක් සඳහා වළක් හාරමින් සිටි අවස්ථාවේදි එල්.ටී.ටී.ඊ සාමාජිකාවන් කීප දෙනෙකුගේ බවට සැක කෙරෙන මිනිස් ඇට සැකිලි කොටස්, නිල ඇදුම් හා ස්වයංක්‍රීය අවි වලට භාවිත කරණ පතරොම් ඇතුලු ද්‍රව්‍ය කීපයක් හමු වී තිබේ.

මේ සම්බන්ධයෙන් කෝකිලායී පොලිසියට දැණුම් දීමෙන් පසුව පොලීසිය එම ස්ථානයට පැමිණ එම ස්ථානය ආරක්ෂිත ස්ථානයක් බවට පත් කොට තිබිණි.
පොලිසිය විශ්වාස කරන්නේ මේ ස්ථානයේ මීට වඩා බොහෝ දේවල් තිබිය හැකි බවය.
ඒ සම්බන්ධයෙන් මුලතිව් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව නිසි ක්‍රමවේදයන් ඔස්සේ සමූහ මිනි වලේ කැණීම් කටයුතු ආරම්භ කරන ලෙසත් එතෙක් එම ස්ථානයට දැඩි ආරක්ෂාව සපයා දෙන ලෙසත් සමූහ මිනී වළ පිහිටි ස්ථානය පරීක්ෂාවට පැමිණි මුලතිව් මහෙස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කොට තිබේ.







