තායි රජ තුමාගේ ත්‍යාගයක් ලෙස මීට වසර 22කට පෙර ලැබීමෙන් අනතුරුව කන්දේ විහාරයේ රඳවාගෙන නොසලකා හැරීමෙන් සහ නොයෙක් වද බන්ධනයට ලක් වීමෙන් ලෝක ගර්හාවට ලක් වී සිටිය දී යලිත් තායිලන්තය විසින් සිය රටට කැඳවා ගත් මුතුරාජා හෙවත් සක්සුරින් ඇත් රජු පැය 05ක ගුවන් ගමනකින් පසු අද ශ්‍රී ලංකා වේලාවෙන් 12.33ට තායිලන්තයේ චියෑන් මායි ( Chiang Mai ) ගුවන් තොටුපල වෙත ලඟා වූයේය.
යානය ගමන් කළේ විශේෂ තත්ත්වයන් යටතේය. එය සැලකිය යුතු මට්ටමක පහත උන්නතාංශයකින් ගමන් කර තිබූ අතර ඒ නිසා ගමනට ගතවූ ගුවන් කාලය වැඩි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
![Muthu-Raja](http://lankasara.com/wp-content/uploads/2023/07/6B903E26-AE74-4719-9387-4D7A10631A26.jpg)
ඇත් රජුගේ ආගමනයෙන් පසු ගුවන් තොටුපලේ සිට කතා කරමින් තායි පරිසර අමාත්‍ය Varawut Silpa-archa පැවසුවේ “ඔහු චියැං මායි වෙත පරිපූර්ණව පැමිණියා” යනුවෙනි. “ඔහු පැය පහක් ගමන් කළා… කිසිවක් වැරදී නෑ… , ඔහුගේ තත්වය සාමාන්‍යයි.” අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.
“සියල්ල හොඳින් සිදුවනු ඇති,” ඇමතිවරයා විශ්වාසය පල කළේය.
එහෙත් ඇතා තවමත් ඉන්නේ ප්‍රතිකාර මට්මේය. තායිලන්තයට අද පැමිණි පසු අසල ඇති ස්වභාවික රක්ෂිතයක අද සිට දින 14 ක නිරෝධායන කාලයක් මුතුරාජා විසින් ගත කරනු ඇත. අනතුරුව ඇතාට අවශ්‍ය ප්‍රතිකාර සඳහා තායි අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ Chang Lampang රෝහල වෙත යැවීමට සැලසුම් කර තිබේ.
පසුගිය වසරේ ඇත් රජු කන්දේ විහාරයෙන් මුදා ගන්නා අවස්ථාවේදී ඔහුගේ සිරුර තුවාලවලින් වැසී තිබූ බව සත්වෝද්‍යානයේ ප්‍රධාන පශු වෛද්‍ය මධුෂ පෙරේරා CNN වෙත පවසා තිබිණි. සත්ව සුබසාධන කණ්ඩායම් පවසා තිබුණේ ඇතා දැව ව්‍යාපාරිකයන් සමඟ වැඩ කිරීමට යොදවා ඇති බවත්, සතාගේ තුවාල බොහෝමයක් ඔහුගේ ම්ලේච්ඡ ඇත්ගොව්වා විසින් සිදුකර පසුව ප්‍රතිකාර නොකර නොසලකා හැර තිබූ ඒවා බවත්ය.
අලියාගේ ඉදිරිපස වම් පාදයේ ඉතිරිව ඇති තුවාලයක් තායිලන්තයේ දි ජල ප්‍රතිකාර සඳහා තවමත් ඉතිරිව තිබේ.
කිලෝ 4000ක් බර ඇත් රජු සහිත විශේෂ යොධ වානේ කැබිනය සහිත රුසියානු භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වූ සිටොට්‍රාන්ස් ගුවන් සේවයේ ( Aviacon Zitotrans ) AZS.- 5701 දරන ilushiyan IL-76 විශේෂ ගුවන් යානය අද උදෑසන 07.40 ට කටුනායක ගුවන් තොටුපොළෙන් තායිලන්තයේ චියෑන් මායි ගුවන් තොටුපොළ බලා පිටත් විය.
තායිලන්ත බලධාරීන් පැවසුවේ මෙම මෙහෙයුම සඳහා ඇමරිකානු ඩොලර් ලක්ෂ 07ක වියදමක් දැරූ බවය.