අද (06) උදෑසන 7ට පමණ මිනුවන්ගොඩ, ගමන් ගෙදර ප්‍රදේශයේ නිවසකට පැමිණ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලිසියෙන් කියා නිවසට පැමිණ නිවසේ දොර නිවැසියන් ලවා විවෘත කරගෙන ටී 56 ගිනිඅවියකින් කළ මෙම වෙඩි තැබීමෙන් නිවසේ සිටි පියා සහ පුතුන් දෙදෙනාට මියගොස් ඇත. වෙඩි පහරට ලක් වූ පුතුන් දෙදෙනා එම ස්ථානයේම මිය ගොස් තිබේ. පියා රෝහල්ගත කළ පසු මියගොස් ඇත.
සරුංගල් සිද්ධියක් මුල් කරගෙන මින් කලකට පෙර සිට මිනුවන්ගොඩ සිදුවන දාම ඝාතනයක උච්චම අවස්ථාව ලෙස මෙම ත්‍රිපුද්ගල මිනී මැරුම සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
මොටර් රථයකින් සහ යතුරු පැදියකින් පැමිණි පිරිසක් අදාළ වෙඩිතැබීම කර පලාගොස් ඇත.
මෙම සරුංගල් සිද්ධිය මුල් කරගෙන ඝාතන ආරම්භ වන්නේ වර්ෂ 2017 අගෝස්තු 26 වැනිදා උදේය. මේ ගැටුම් ඇතිවන්නේ අද ත්‍රිත්ව ඝාතනය සිදුවන මිනුවන්ගොඩ ගමන්ගෙදර සමීප ඥාති පවුල් දෙකක් අතරය.
සරුංගල් යැවීමක් මුල් කරගෙන 2017 අගෝස්තු 26 දා සිදුවන ඝාතන සිද්ධියට මුල් වූ නිමිත්ත ඇතිවෙන්නේ, අගෝස්තු 25 දාය. ඒ සරුංගල් යැවීමේ දී ඇති වූ බහින්බස් වීමකි. ඒ මත ඇතිකරගත් ආරවුලකින් එදා පිය පුතු දෙදෙනෙක් ඝාතනය වන්නේය. මේ පිය පුතු දෙදෙනා නිවසකට පැන පොලුවලින් පහර දීමට කළ උත්සාහයක දී ඔවුන්ව නිවස ඉදිරියේම ඝාතනය කර තිබිණි.
අද නිවසට පැමිණ වෙඩි තබා සිදුකළ පියාත් පුතුන් දෙදෙනාත් සරුංගල් සිද්ධිය මුල් කරගෙන සිව් වසරකට පෙර සිදුවූ ඝාතන ද්විත්වයේම දිගුවක් විය හැකි බව පොලිසිය සැක කරයි.
පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.







