මිනී මැරුම් 11කට සම්බන්ධ බව කියන, නීති විරෝධීව ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකික අපරාධකරුවන් 03ක් සහ ඔවුන්ට ආධාර උපකාර දී රැකවරණය සැපයූ ඉන්දියානුවෙක් ඉන්දියානු මධ්‍යම අපරාධ විමර්ශන අංශය විසින් පෙරේදා (23) බැංගලෝර් යෙලහන්කා හි පිටිහි මහල් නිවසක දි අත් අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ලැබුණු තොරතුරක් මත මෙම මහල් නිවාසය වටලා කළ සෝදිසි කිරීමක දී ඔවුන් තිදෙනා නීති විරෝධී සංක්‍රමණියන් බව තහවුරු කරගෙන ඉන් පසු අත්අඩංගුවට ගෙන ඇත.
තහවුරු නොකළ මාධ්‍ය මුලින්ම වාර්තා කර තිබුණේ බැංගලෝරයේ දී එල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙක් අත් අඩංගුවට ගත් බවය.
එහෙත් දෙමළ කතා කිරීමට නොහැකි මෙම පුද්ගලයන් සම්බන්ධව කළ විමර්ශනයේ දී හෙළි වී ඇත්තේ ඔවුන් ගම්පහ, කඩුවෙල සහ කොළඹ ප්‍රදේශවල පදිංචි ශ්‍රි ලාංකික අපරාධ කරුවන් තිදෙනෙක් බවය.
අත් අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ පදිංචි කරුවෙක් වූ කසුන් කුමාර සන්ක, කඩුවෙල පදිංචි කරුවෙක් වූ අමිල නුවන් සහ කොළඹ පදිංචි කරුවෙක් වූ රංග ප්‍රසාද් බව මේ පිළිබඳව වාර්තා කරන ඉන්දීය මාධ්‍ය කියයි.
වයස අවුරුදු 30 සීමාවේ පසුවන මෙම පුද්ගලයින් තිදෙනාගෙන් අමිල නුවන්ට මිනී මැරුම් නඩු පහක්, කසුන් කුමාර සන්ක ට මිනී මැරුම් නඩු 04ක්, කොළඹ ප්‍රදේශයේ රංග ප්‍රසාද්ට මිනී මැරුම් නඩු 02ක් ඇති බව ඉන්දියානු මධ්‍යම අපරාධ විමර්ශන අංශය හෙළි කරගෙන ඇත.
අගෝස්තු මස මුල් සතියේ ධීවර බෝට්ටුවකින් රාමේෂ්වරම හරහා ඉන්දියාවට රිංගාගත් මෙම අපරාධකරුවන් ගොඩබිම මාර්ගය ඔස්සේ බැංගලෝර් වෙත ළඟා වී ඇතැයි හෙළි වී තිබේ. නගරයේ ඔවුන්ට කුලියට ගත් මහල් නිවාසයක නවාතැන් ලබා දී ඇත්තේ මිනීමැරුම් චෝදනාවට ලක් ව දැන් ඇප මත නිදහස් වී සිටින 42 හැවිරිදි ජායි පරමේෂ් නැමැත්තා විසිනි.
අත් අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් අත තිබී ජංගම දුරකථන 13ක්, ඇතුළු භාණ්ඩ 53ක් පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ.
අපරාධකරුවෙකුට රැකවරණය ලබා දීම සහ සාපරාධී කුමන්ත්‍රණයකට සම්බන්ධවීම පිළිබඳ චෝදනා පිට මොවුන් තිදෙනාට රැකවරණය ලබා දුන් ජායි පරමේෂ් ද අත් අඩංගුවට ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් ඉන්දියානු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය යෙලහන්කා පොලිස් ස්ථානයේ නඩුවක් ද පවරා ඇත.
ඒකාබද්ධ පොලිස් කොමසාරිස් (අපරාධ) එස් ඩී ෂරණප්පා පවසා ඇත්තේ රාමේෂ්වරම් මාර්ගය හරහා නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුළු වූ මෙම ශ්‍රී ලාංකිකයන් තිදෙනා ශ්‍රී ලංකාවට වඩාත්ම අවශ්‍ය අපරාධකරුවන් විය හැකි බවය.
ඔවුන් ඉන්දියාවට පැමිණියේ මන්දැයි කීමට තවම කල් වැඩි බව ද ඔහු පවසා ඇත. DH