කැබිනට් අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් සඳහා පොලිස් ආරක්ෂාව සැපයීමේදී අදාළ ආරක්ෂක රථවලට මින් ඉදිරියට පොලීසිය මඟින් ඉන්ධන ලබා දීම නැවැත්වීමට තීරණය කර ඇති අතර එම රථ සඳහා අමාත්‍යවරුන්ට වෙන් කරන ඉන්ධනවලින් ලබාදෙන ලෙස ඉල්ලා සිටීමට මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශය තීරණය කර ඇත.
පොලිස් දෙපාර්තමේන්තුවට මේ වන විට දරන්නට සිදුව ඇති විශාල ඉන්ධන පිරිවැය සීමා කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බවත්, අදාළ තීරණය පිළිබඳව භාණ්ඩාගාර නිළධාරීන් ද දැනුවත් කිරීමට සිදුව ඇති බව ද සන්ඩේ ටයිම්ස් පුවත්පත අනාවරණය කරයි.
එම පුවත්පත තවදුරටත් සඳහන් කරන්නේ මේ වන විට කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, හිටපු ආණ්ඩුකාරවරුන් මෙන්ම විශ්‍රාම ලැබූ ඉහළ පෙළේ රාජ්‍ය නිළධාරීන් කීහිප දෙනෙකු ද තවමත් පොලිස් ආරක්ෂාව භාවිතා කරන අතර ඔවුන්ට ද පොලීසිය මඟින් ඉන්ධන වැය කිරීටම සිදුව ඇති බවය.
මේ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 13ක්, හිටපු ආණ්ඩුකාරවරුන් 20ක්, හිටපු මහ ඇමතිවරුන් 6ක් සහ බෞද්ධ භික්ෂූන්වහන්සේලා 29ක් සඳහා පොලීසිය සිය ආරක්ෂාව ලබා දෙමින් සිටියි. ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලීසියේ පොලිස් නිළධාරීන් දෙසිය පනස් දෙනෙකු පමණ වෙන්ව ඇති බව ද මෙම පුවත් වාර්තාව සඳහන් කරයි.
නව වැඩපිළිවෙළ අනුව ඔවුන්ට ලබා දෙන ආරක්ෂක රථවලට ඉන්ධන ලබාදීම පොලීසියට දරාගත නොහැකි තත්ත්වයක් යැයි දන්වා අදාළ පාර්ශව විසින් ඒවා ලබා ගැනීමට අවධානය යොමු කර ඇති අතර ඇමතිවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන්ට ඔවුන්ට අදාළ අමාත්‍යංශවලින් පොලිස් ආරක්ෂාව අවශ්‍ය නම් ආරක්ෂක රථවලට ඉන්ධන ලබා දිය යුතු බව දක්වා තිබේ.
මීට අමතරව, අමාත්‍යවරුන්ගේ විදේශ ගමන් සඳහා පොලිස් නිළධාරීන් රැගෙන යන්නේ නම් ඔවුන්ට අවශ්‍ය ගුවන් ටිකට්පත් ඇතුළු සියලු වියදම් අදාළ අමාත්‍යංශය විසින් දැරිය යුතු බවට දන්වා තිබේ.
එමෙන්ම, මේ වන විට විනිශ්චයකාරවරුන් සඳහා ද විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දෙන අතර, එම වාහන සඳහා ද අවශ්‍ය ඉන්ධන අධිකරණ අමාත්‍යංශය විසින් ලබා ගැනීම පිළිබඳව ද, මේ වන විට අවධානය යොමුව ඇතැයි, සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.







