-
ලිංගික අතවර චෝදනාවට දඬුවම් මාරු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකගේ මාරුව අවලංගු කර අතවර චෝදනා කළ කොස්තාපල්වරිය සේවය කරන තැනට මාරුව දීලා…
ආධුනික කාන්තා පොලිස් නිලධාරිනියකට ලිංගික අතවර කිරීමට උත්සාහ කිරීම හේතුවෙන් විනය චෝදනා මත ගල්කිස්ස පොලිස් කොට්ඨාසයට මාරු කර යැවූ බෙලිඅත්ත පොලිස් ස්ථානයේ පරිපාලන අංශයේ ස්ථානාධිපතිව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ මාරුව අවලංගු කරගන් සානුකම්පික සෞඛ්‍ය හේතු මත යැයි සඳහන්කර ඔහුට අතවර චෝදනා එල්ල කළ ආධුනික පොලිස් නිලධාරිනිය සේවය කරන තංගල්ල මූලස්ථාන පොලිසියටම අනුයුක්ත කර ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.
වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
මෙම පොලිස් නිලධාරියා බෙලිඅත්ත පොලිසියේ පරිපාලන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස සේවය කරමින් සිටින අතර අධුනික කාන්තා පොලිස් කොස්තාපල්වරියකට දැඩි ලිංගික බලපෑම් එල්ල කර ඇති බවත් ඒ හේතුවෙන් එම තරුණ නිලධාරිනිය පොලිස් ස්ථානය තුළ සිය දිවි හානිකරගැනීමට උත්සාහ කළ බවත් වාර්තා වී තිිබිණි.
මෙම සිද්ධිය මතුවීමත් සමග තරුණ පොලිස් කොස්තාපල්වරිය තංගල්ල මූලස්ථාන පොලිසියට අනුයුක්ත කර බෙලිඅත්ත පොලිසියේ සේවය කළ මෙම නිලධාරියා විනය හේතු මත වහාම ක්‍රියාත්මකවන පරිදි ගල්කිස්ස පොලිස් කොට්ඨාසයට මාරු කර යැව්වේය.
එහෙත් මේ වනවිට සෞඛ්‍ය හේතු මත යැයි දන්වා එම පොලිස් නිලධාරියා, ඔහුට අතවර චෝදනා එල්ල කළ තරුණ කොස්තාපල්වරිය සේවය කරන තංගල්ල මූලස්ථාන පොලිසියටම අනුයුක්ත කර ඇතැයි වාර්තා වේ.

මේ අතර පොලිස් කොට්ඨාසය තුළ රඳවා ගැනීමට නිසුදුසු බව දන්වා පොලිස්පති විසින් තංගල්ල පොලිස් කොට්ඨාසයෙන් වහාම ක්‍රියාත්මකවන පරිදි මාරු කර යැවීමට නියෝග කළ, බෙලිඅත්ත පොලිසියේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් සහ උප පොලිස් පරික්ෂකවරයෙක් උක්ත නියෝගය අවලංගු කරගෙන එම කොට්ඨාසය තුළම රාජකාරි අවස්ථා ලබාගෙන ඇත.
පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා අඟුනකොලපැල්ස්සට හා කිරින්දටත්, උපපොලිස් පරීක්ෂකවරයා බෙලිඅත්ත පොලිසියටමත් සිය මාරු වීම් වෙනස් කරගෙන තිබේ.
කෙසේ වෙතත් බෙලිඅත්ත කොට්ඨාසයේ නීති විරෝධී මත්පැන්, දඩමස්, ජාවාරම් වැටලීම හේතුවෙන් පොලිස් ස්ථානාධිපතිගේ උදහසට ලක් වූ 58 හැවිරිදි සැරයන්වරයෙක් සිය නිවසින් කිලෝ මීටර 300ක් දුර මොනරාගල අති දුෂ්කර පොලිස් ස්ථානයක් වෙත මාරු කර යවා ඇත.
ඔහුව එම වැටලීමට මෙහෙයවූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ද බෙලිඅත්ත පොලිසියෙන් ඇඹිලිපිටිය පොලිසියට මාරු කර යවා තිබේ.







