මැණික්හින්න ප්‍රාදේශීය රෝහලට රෝගියෙකු රැගෙන ගිය පිරිසක් සහ රෝහල් කාර්යම මණ්ඩලය අතර ඇති වූ ගැටුමක් ගුටිබැට හුවමාරුවක් තෙක් දුර දිග යෑමෙන් තුවාල ලද දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරියා ඇතුළු දස දෙනෙක් ප්‍රතිකාර සඳහා පේරාදෙණිය සහ මැණික්හින්න රෝහල් වෙත ඇතුළත් කර තිබේ.
තුවාල ලද දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීවරයා සහ රෝහල් කාර්ය මණ්ඩලයේ සිවු දෙනෙක් මැණික්හින්න රෝහලේත් රෝගියා රැගෙන පැමිණි පිරිසගෙන් හය දෙනෙක් පේරාදෙණිය රෝහලේත් ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග කියයි.
මැණික්හින්න පොලිසිය පවසන පරිදි සිද්ධිය පෙළ ගැසෙන්නේ මෙසේය.
දිගන ප්‍රදේශයේ අවුරුදු උත්සවයකට සහභාගී වෙමින් සිටිය දි ජලය යැයි කියා පෙට්‍රල් වලින් මුහුණ සේදීමෙන් ඇස්වල ඇති වූ අධික දැවිල්ල හේතුවෙන් ප්‍රතිකාර සඳහා ඊයේ පස්වරු 6.40ට පමණ රෝගී පුද්ගලයෙක් රැගත් පිරිසක් මැණික්හින්න රෝහලට පැමිණ ඇත.
එදින සවස රෝහල් පරිශ්‍රයේ දී රෝහල් කාර්ය මණ්ඩලය ද අවුරුදු උත්සවයක් පවත්වමින් සිට ඇත. ප්‍රතිකාර ගැනීම සඳහා රෝගියා රැගෙන එන විට දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරියා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය එකම ටී ෂර්ට් එකකින් සැරසී හිඳ තිබේ.
පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනා රෝගියා රැගෙන පැමිණි පිරිස පවසා ඇත්තේ රෝහල් කාර්ය මණ්ඩලය බීමතින් සිටි බව පෙනී ගිය හෙයින් ඒ සම්බන්ධව ඔවුනගෙන් විමසූ බවත්, එයින් කිපුණු රෝහල් කාර්ය මණ්ඩලය යකඩ බට හා ගල් මුගුරුවලින් තමන්ට පහර දුන් බවත්ය.
රෝගියා රැගෙල පැමිණි පිරිස පවසන්නේ ඇස් වලට පෙට්ට්‍රල් වැටීම නිසා අධික වේදනාවෙන් පසු වූ තරුණයාට ද රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයින් අමානුෂිකව පහර දුන් බවය. ගැටුම ඇතිවන අවස්ථාවේ රෝහලේ වෛද්‍යවරයා ද බීමතින් සිටි බවට ද චෝදනා එල්ල වී තිබේ.
මැණික්හින්න රෝහලේ කාර්යභාර වෛද්‍ය නිලධාරී ඩබ්.සී.කේ. වීරපාන පවසන්නේ සිද්ධිය වූ දින රෝහල් පරිශ්‍රයේ අවුරුදු උත්සවයක් පැවැත්වෙමින් තිබූ බවත් ඉරිදා නිවාඩු දින වුවද තමන් රෝහලේ සේවයට වාර්තා කර සිටි බවත්ය.
ගැටුමෙන් රෝහලේ පරිශ්‍රයේ නවතා තිබූ වාහන පහකට අලාභහානි සිදුව ඇත. එම වාහන අතර රෝගියා රැගෙන ආ ගෙන ආ තීුරෝද රථය ද රෝහල ආසන්නයේ නවතා තිබූ පෞද්ගලික මෝටර් රථයක් ද තිබෙන බව පොලීසිය පවසයි.
වාර්තාවන පරිදි රෝහල් කාර්ය මණ්ඩලය සහ රෝගියා රැගෙන රෝහලට පැමිණි පිරිස අතර ගැටුම උත්සන්න වනවිට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි පිරිස් ද රෝහල් පරිශ්‍රයෙන් ඉවතට දිව ගොස් ඇති බවය.
සිද්ධිය සම්බන්ධයෙන් මැණික්හින්න පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.ඩී චන්ද්‍රපාල ගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වෙයි.
පහරදීමට සම්බන්ධ වූ දෙපාර්ශවයෙන්ම ප්‍රකාශ සටහන් කර ගැනීමට පොලීසිය පියවර ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ සේනක තලගල ගේ මෙහෙයවීමෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. මෙම ගැටුමෙන් රෝහලේ රෝද පුටු හා දොර ජනෙල් කිහිපයකට අලාභහානි සිදුව ඇත.