ශ්‍රියානි විජේසිංහ –
දිය නෑමට නුසුදුසු අවදානම් ස්ථාන 1000ට අධික සංඛ්‍යාවක් මෙරට ජලාශයන් තුළ පවතින බවත්, මේ වන විට 500ට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝනොවන රෝග ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග පවසයි.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි ආපාදාකළමණාකරණ ඒකකය මගින් අවදානම් ස්ථානයන් පිළිබඳව තොරතුරු ලබා ගනිමින් සිටින බව විශේෂඥවරයා පවසා සිටියි.
දියනෑමට සුදුසු නොවන ගැඹුරු ස්ථානයන් හඳුනාගෙන එම ස්ථානයන් හී භාෂා තුනෙන්ම පුවරු සවිකීරීම, යෙදවුමක් මගින් එම ස්ථානයන් හඳුනා ගැනීම, භාෂාවන් නොතේරෙන විදේශීකයන්ට සලකුණු ක්‍රමයන් මගින් ඒම අවදානම් ස්ථානයක බව හදුන්වාදීම හා කිසියම් පුද්ගලයෙකුගේ අධීක්ෂණය යටතේ දියේ ගිලීමට යන පුද්ගලයන් බේරා ගැනීමට ගැලවීමේ ක්‍රමයන් ස්ථාපිත කිරීම සඳහා මේ වන විටත් කටයුතු කරමින් පවතින බව වෛද්‍ය සිරිතුංග සඳහන් කරයි.
ගැලවීමේ ක්‍රමයන් ලෙස කඹ, දිග බට, උණ බට ප්ලාස්ටික් කෑන්, ප්ලාස්ටික් බෝතල්, වියළි පොල් ආදිය භාවිත කිරීමට සැලසුම් කර ඇති බවද පැවසේ.
මේ වන විට උතුරු මැද හා වයඹ පළාත්වල සැලකිය යුතු අවදානම් ස්ථානයන් සොයා ගෙන ඇති අතර කරන ලද සොයා බැලීම් වලදි කිසිවෙක් නොසිතන ස්ථානයන් පවා අවදානම් ස්ථානයන් බව හඳුනාගෙන ඇතැයි හෙතෙම පැවසුවේය.
ශ්‍රී ලංකාව තුළ වසරකට සිදුවන හදිසි අනතුරුවලින් සියයට 10ක් නැතහොත් 1000 – 1200 අතර සංඛ්‍යාවක් සිදුවන්නේ දියේ ගිලීම් හේතුවෙන් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ අනතුරු වැලැක්වීම් ඒ්කකය පෙන්වාදේ.