ලබන මාර්තුවෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැර ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට ජනපති සැරසෙන බව විශ්වාසකටයුතු දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ තත්ත්වය ඉලක්ක කරගෙන මේ වනවිට සෑම දේශපාලන පක්ෂයක්ම ස්වකීය දේශපාලන ප්‍රචාරණ කටයුතු ආරම්භ කර තිබේ.
පොදුජන පෙරමුණ “එක්ව නැගිටිමු“ තේමාව යටතේ ප්‍රචාරණ ව්‍යාපෘතිය ආරම්භ කර ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මූලිකත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධානය ඇතුළු දේශපාලන ව්‍යාපෘතිය ගම් මට්ටමින් ආරම්භ කර ඇත.
සමගි ජන බලවේගය සිය ප්‍රතිසංවිධාන කටයුතු ව්‍යාප්ත කර තිබේ. ජනතා විමුක්ති පෙරමුණ මුල් කරගත් ජාතික ජන බලවේගය ඉතා ක්‍රියාශීලී වැඩපිළවෙළක් රට පුරා දියත් කර ඇත.
එළඹෙන මැතිවරණයක දී පොහොට්ටුව, සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය වෙන වෙනම තරග කිරීමටත් එක්සත් ජාතික පක්ෂය වැඩි දෙනෙකුට එකඟ විය හැකි පරිදි නිදහස් සන්ධානයක් ලෙස තරග වැදීමටත් සැලසුම් කර ඇතැයි වාර්තා වේ. එම සන්ධානයට චන්ද්‍රිකා කුමාරතුංග, කුමාර වෙල්ගම ඇතුළු පිරිසත්, පොහොට්ටුව විවේචනය කරන පොහොට්ටුවේ කණ්ඩායම්, ස්වාධීන වූ කණ්ඩායම්, සහ දේශපාලන කණ්ඩායම් එක්වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.
ඉදිරියේ දී පැවැත්වෙන මැතිවරණයකින් පසු සභාග ආණ්ඩුවක් පිහිටුවීමට දැනටමත් දේශපාලන පක්ෂ සමග ජනාධිපතිවරයා සාකච්ඡා කරමින් සිටින බව ද දැනගන්නට ඇත.







