මාදිවෙල පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සඳහාවන නිල නිවාස සංකීර්ණයේ නිවාසවල පිටස්තර පුද්ගලයන් 120 දෙනකු පමණ නීති විරෝධීව පදිංචි බවට පැමිණිලි ලැබී ඇතැයි වාර්තා වේ. මේ පැමිණිලි මත එහි පදිංචි පුද්ගලයන් කවුද යන්න සෙවීම සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ නියමයෙන් විමර්ශනයක් ආරම්භ වී ඇති බව අද ද අයිලන්ඩ් පුවත් පත වාර්තා කළේය.
මෙම පුවත්පතට අනුව ආරක්ෂක නිලධාරීන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඇතුළු පුද්ගලයන් ගණනාවක් මෙම නිල නිවාසවල පදිංචි වී ඇති අතර මේ තත්ත්වය හේතුවෙන් ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තවමත් තමන්ට හිමි නිල නිවාසය ලබා ගැනීමේ හැකියාව ඇහිරී ගොස් ඇති බවට පැමිණිලි ලැබී ඇත.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මට්ටමින් පැවැත්වෙන විමර්ශනයට අමතර ව අදාළ නිල නිවාස ආරක්ෂාව භාර මිරිහාන පොලිසියටද වෙනම විමර්ශනයක් සඳහා කථානායකවරයා විසින් නියෝග කරනු ලැබීමට නියමිත බවද සඳහන් වේ.
නිදන කාමර තුනක් , විසිත්ත කාමරයක් කෑම ගැනීමේ කාමරයක් මුළුතැන් ගෙය ඇතුළු අංග සම්පූර්ණ පහසුකම් සහිත මෙම නිවාසවල රැදී සිටිය හැක්කේ අදාල පාර්ලිමේන්තු කාලය තුළ මන්ත්‍රි ධුරය උසුලන පුද්ගලයන්ට පමණකි.







