දිනසේන රතුගමගේ –
අධිකරණ නියෝග නොතකා වවුනියාව පෞරාණික වඩ්ඪමාන පබ්බත විහාරය හෙවත් වඩුනාගල විහාර භූමිය නෙඩුන්කේණී වෙඩුක්කුනාරිමලේ ආදී ලිංගේස්වර කෝවිල ලෙස නම් කර එම පුරාවිද්‍යා භූමියේ හින්දු දේශපාලන කණ්ඩායම් ඇති කළ ගැටලුවත් සමග පැනවූ අධිකරණ නියෝග නොසලකා මහා ශිව රාත්‍රීය දිනයේ පොංගල් පූජාවක් පැවත්වීමේ සිද්ධිය මත පොලීසිය විසින් අත් අඩංගුවට ගත් පූසාරීයා ඇතුලු පුද්ගලයින් 8 දෙනෙකු මේ මස 12 වෙනිදා දක්වා බන්ධනාගර ගත කරණ ලෙස වවුනියාව මහෙස්ත්‍රාත්වරයා ඊයේ (9) නියෝග කොට තිබේ.
මෙම පුරාවිද්‍යා භූමියේ අනන්‍යතාවය තහවුරු කරගෙන එහි ඉතිහාස පැවැත්ම හඳුනාගෙන තිබෙද්දී එය ආදිලිංගේස්වර කෝවිල ලෙස නම් කරගෙන අත් පත් කරගැනීමට හින්දු දේශපාලනඥයන්ගේ පිටුබලයෙන් ආගම්වාදී සුලුතරයක් කටයුතු කරන්නේ යුද සමයේදී බෞද්ධයින් මෙම ප්‍රදේශවලින් මගහැරීම නිසාය.
සාමය එළඹීමෙන් පසුව බෞද්ධ ජනතාව එම ස්ථානයට යාම ගැන උරණ වූ හින්දු දේශපාලන අධිකාරියේ ආශීර්වාදය සහිත ආගම්වාදී පිරිස් විවිධ ඇති කළහ. මේ තත්ත්වය තුළ මේ ස්ථානයේ ඓතිහාසික පැවැත්ම පුරාවිද්‍යා සාධකමත තහවුරු කරමින් පුරාවිද්‍යා නිලධාරීහු වවුනියාව මහාධිකරණයේ නඩු හතරක් ගොණු කළහ. එම නඩු විභාගයට ගත් අවස්ථා වලදී අධිකරණ නියෝගය වී ඇත්තේ මේ ස්ථානයේ අයිතිය තහවුරුවන තුරු කිසිදු පාර්ශ්වයකට මේ ස්ථානය තුළ මහා පරිමාණයෙන් පොංගල් පූජා හෝ වෙනත් ආගමික පූජා නොපැවැත්විය යුතු බවය. දෙපාර්ශවයේම බැතිමතුන්ට එම ස්ථානයට ගොස් මල් පහන් පූජා කොට වන්දනාමාන කිරීමට පමණක් අවසර ලබා දී තිබිණි. එමෙන්ම කිසිදු පාර්ශවයකට ස්ථානීය සංවර්ධන කටයුතු සිදු කිරීමට අවසර නොමැති බව ද අධිකරණ නියෝගයේ විය.
තත්ත්වය මෙසේ තිබියදී මෙවර මහා ශිව රාත්‍රී දිනයට පෙර දින සිට මෙම කෝවිලේ ශබ්ද වාහිනී යන්ත්‍ර උපයෝගී කරගෙන හා විදුලි ජනක යන්ත්‍ර සහිතව දැවැන්ත පොංගල් පූජාවක් දින තුනක් පුරා පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබිණි. කෝවිලේ පූසාරීයා සහ ඔහුට පහසුකම් සපයන උතුරේ ගෝත්‍රවාදී දෙමළ දේශපාලනය මේ කටයුත්ත පසුපස විය.
කෙසේ වෙතත් උත්සව කරන්නට පටන් ගත් අවස්ථාවේදී නෙඩුන්කේණී පොලීසිය කෝවිලට පැමිණියේය. අධිකරණ නියෝග කඩ කළ පූසාරියා අත් අඩංගුවට ගත්තේය. පසුව මහා පරිමාණයේ පොංගල් උළෙලට එරෙහිව පොලිසිය අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබා ගෙන තිබුණි.
නමුත් අධිකරණ නියෝගයන් හා පොලිස් නියෝගයන් නොතකා බලහත්කාරයෙන් එම ස්ථානයේ පොංගල් පූජාවක් පවැත්වීමට ගිය අවස්ථාවේදී පොලීසිය හා පිරිසක් අතර දැඩි නොසන්සුන්තාවයක් හටගත්තේය.
පොලීසිය එම ස්ථානයට ගිය අවස්ථාවේදී එතැන දෙමළ ජාතික ජනතා පෙරමුණේ සෙල්වරාසා ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයා සමග තවත් ප්‍රාදේශීය දේශපාලනඥනයෝ කීප දෙනෙකුම වූහ. රටේ නීති හදන්නට පාර්ලිමේන්තුවට ගිය මන්ත්‍රීවරයා නීතිය කඩ කර උසාවි නියෝග නොතකා මගුල් කෙළින්නට යෑම වැළැක්වීමට කටයුතු කරන්නට හැදූ පොලිසිය සමග ගැටුමක් ඇති කරගත්තේය.
මේ අවස්ථාවේදී පොලීසිය අධිකරණ නියෝගය හා වන ජීවී කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනය පොංගල් උත්සවයට සහභාගී වූ පිරිසට කියවා එම ස්ථානයෙන් ඉවත්ව යන ලෙස අවස්ථා අටකදීම දැනුම් දුන්නේය. ජනතාව එම නියෝගයට අවනත විය. නමුත් දෙමළ දේශපලනඥයින් හා ඔවුන් සමග සිටි වේලන් සාමි නැමැති උග්‍ර ආගම්වාදියා පොලිසියට එරෙහි දැඩි විරෝධයක් ඇති කළේය. ඔහු සම සිටි උම්මන්තක පිරිස කෑ කෝ ගැසමින් කෝවිල් භූමියේ දැඩි නොසන්සුන්තාවයක් ඇති කළේය. .
එහෙත් පොලිසිය නීතිය ක්‍රියාත්මක කළේය. පොංගල් උපකරණ සියල්ලම පොලිසිය තමන් බාරයට ගත්තේය. බැතිමතුන් එම ස්ථානයෙන් ඉවත් කළේය. ඊට විරෝධය පල කොට පොලීසියේ රාජකාරීවලට බාධා කළ පුද්ගලයින් හත් දෙනෙකු පොලිස් අත් අඩංගුවට පත් විය.
පිරිස ජීප් රථ වලට නැගීම ප්‍රතික්ෂේප කළහ. නිසා පොලීසිය ඔවුන්ව කුදලාගෙන ගොස් ජිප් රථයට දැමූහ.
කළින් අත් අඩංගුවට ගත් කෝවිලේ පූසාරීවරයා සහ පසුව අත් අඩංගුවට ගත් හත් දෙනා වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අධිකරණ නියෝගය මත ඔවුන්ව බන්ධනාගාර ගත කළේය.