මෙරට දේශපාලන ක්ෂේත්රයේ මෙන්ම වෛද්‍ය විද්‍යා පර්යේෂණ ක්ෂේත්රයේ ද නොමැකෙන සලකුණක් තැබූ ප්රාඥයෙකු වූ මහාචාර්ය තිස්ස විතාරණ අද (පෙබරවාරි 13) උදෑසන අභාවප්‍රාප්ත විය. කලක් රෝගාතුරව සිටි එතුමෝ අභාවප්‍රාප්ත වන විට කෝට්ටේ ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ රැඳී සිටිහ යි වාර්තා වේ.
1934 අගෝස්තු 30 වන දින නුවරඑළියේදී උපත ලැබූ උපාලි තිස්ස විතාරණ ප්‍රකට වාමාංශික දේශපාලනඥයෙකු වූ ආචාර්ය එන්. එම්. පෙරේරාගේ බෑණනුවන්ය. එන්. එම්. පෙරේරා ගේ සහෝදරියක වූ එන්. පී. මැගී පෙරේරා සහ රජයේ ඉංජිනේරුවෙකු වූ පීරිස් විතාරණ දෙපළගේ පුත්‍රයා තිස්ස විතාරණය. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් සහ කොළඹ ආනන්ද විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ තිස්ස විතාරණයෝ එකල දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූහ. ඔහු එම පාසල් දෙකේම පාසල් ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කළේය.
1959 වසරේදී කොළඹ ලංකා විශ්වවිද්‍යාලයෙන් MBBS වෛද්‍ය උපාධිය ලබාගත් ඔහු, විශ්වවිද්‍යාල ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කරමින් ‘සාරා කුසලාන’ තරඟාවලියට සහභාගී වූ ක්‍රීඩකයෙක් වූයේය.
විද්‍යා හා පර්යේෂණ ක්ෂේත්රයේ මෙහෙවර
වෛද්‍යවරයෙකු ලෙස වෘත්තීය ජීවිතය ඇරඹූ ඔහු, පසුව ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් වෛරස් විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් (Ph.D.) ලබාගනිමින් මෙරට සිටි ප්‍රමුඛතම වෛරස් විද්‍යාඥයෙකු බවට පත් විය.
වෛද්‍ය පර්යේෂණ ආයතනය (MRI) : වසර 20කට අධික කාලයක් වෛරස් විද්‍යා අංශ ප්‍රධානියා ලෙසත්, 1983-1994 කාලයේ එහි අධ්යක්ෂවරයා ලෙසත් සේවය කරමින් මෙරට වෛද්‍ය පර්යේෂණ ක්ෂේත්රය ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීමට ඔහු කටයුතු කළේය.
බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව යන රටවල උපදේශක වෛරස් විද්‍යාඥයෙකු ලෙස සේවය කළ ඔහු, විශ්‍රාම ගැනීමෙන් පසු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කළේය. ඔහුගේ මෙම සුවිශේෂී විද්‍යාත්මක දායකත්වය අගයමින් 2017 වසරේදී ශ්‍රී ලංකා රජය විසින් ඔහුට ‘විද්‍යා ජෝති’ ගෞරව නාමය පිරිනමන ලදී.
දේශපාලන ජීවිතය
1974 වසරේදී ලංකා සමසමාජ පක්ෂයට සම්බන්ධ වූ තිස්ස විතාරණයෝ මිය යන විටත් එම පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළහ. මෙරට වාමාංශික ව්‍යාපාරයේ මෙන්ම ජාතික දේශපාලනයේ ද ඔහු සුවිශේෂී භූමිකාවක් ඉටු කළේය.
2004 වසරේ සිට එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කළේය.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා ලෙසත්, පසුව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යවරයා ලෙසත් සේවය කරමින් මෙරට තාක්ෂණික ක්ෂේත්රයේ නවෝත්පාදන සඳහා පදනම දැමීය.
ජනවාර්ගික ගැටලුවට දේශපාලන විසඳුමක් සෙවීම සඳහා පත් කළ සර්ව පාක්ෂික නියෝජිත කමිටුවේ සභාපතිවරයා ලෙස ඔහු ඉටුකළ මෙහෙවර දේශපාලන ඉතිහාසයේ ඉතා වැදගත් වේ.
2019 සිට 2020 දක්වා උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ද ඔහු කටයුතු කළේය.
ශ්‍රී ලංකාවේ වෛද්‍ය පර්යේෂණ ක්ෂේත්රයට විද්‍යාත්මක දැනුමෙන් ද, දේශපාලන ක්ෂේත්රයට මානවවාදී සහ වාමාංශික දැක්මෙන් ද මහාචාර්ය තිස්ස විතාරණ මහතා ඉටුකළ මෙහෙවර සදා අනුස්මරණීය වේ. ඔහුට නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරමු.







