මේ වනවිට නුවරින් අඩක් ජලයෙන් යට වී තිබේ. දුම්රිය ස්ථානය ජලයෙන් යටවී මුලුමනින්ම මෙහෙයුම් කටයුතු නැවතී ඇත.
අද අලුයම් කාලයේ මහනුවරට ඇදවැටුන දැඩි වර්ෂාව හේතුවෙන් මහනුවර නගරයේ පහළ කොටස ලෙස සැලකෙන දුම්රිය ස්ථානය පෙදෙස මෙසේ ජලයෙන් යටවී තිබිණි.

පැය පහකට අධික කාලයක් නොනවත්වා ගලා ආ ජල මහනුවර දුම්රිය ස්තානය වසා ගත්තේය.
දුම්රිය ස්ථාන පිවිසුමේ සිට පදික වේදිකා, දුම්රිය මාර්ග ජලය පිරී එකම ජලාශයක් ලෙස දිස් විය. දුම්රිය සථානයට විශාල හානියක් සිදුවී ඇත.
මහනුවර නගරයේ සිට විලියම් ගොපල්ලව මාවත දෙසට යන මැද ඇල ද උතුරා යෑමෙන් විලියම් ගොපල්ලව මාවතේ සුදුහුම්පොල කොටස ද සම්පූර්ණයෙන් ජලයෙන් යටවී ඇත. සුදුහුම්පොල කොටස ඇත්තේ දුම්රිය මාර්ගයට ඉහළිනි. 
මේ වනතුරුත් මහනුවර දුම්රිය ස්ථානය ජලාශයක් සේ පෙනේ.
මේ සම්බන්ධව අදහස් දක්වන මහනුවර ප්රධාන දුම්රිය ස්ථානාධිපති ආර්එම්පී රත්නායක ප්රකාශ කර සිටියේ බෝගම්බර දෙසින් ගලා ආ ජල කඳ ඉතා සුළු වේලාවකින් සියල්ල විනාශ කරගෙන දුම්රිය ස්ථානය යට කළ බවය.
මීට හේතුව ලෙස දකින්නේ බෝගම්බර ක්රීඩාංගනය පෙදෙසේ මාර්ග ඉදිකිරීම් සහ ගොඩනැගිලි ඉදිකිරීම් අවසන් නොකිරීම නිසා ජලය බැස යන මාර්ග අවහිරීමත් කඩිනම් සංවර්ධන ක්රියාමාර්ග යටතේ ආරම්භ කළ සෑම ඉදිකිරීමක්ම පාහේ නතර කර දමා තිබීම තිබීමෙන් ජල බැස්මට බාධා වීමත් විය හැකි බව ඔහු කීවේය.
මහනුවර දුම්රිය ස්ථානය ජලයෙන් යටවී ඇත්තේ මෙසේය…







