විශ්වවිද්‍යාල සිසුන්ගෙන් තමන්ට මරණ තර්ජන එල්ල වූ බවට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයා මාධ්‍යයට කර තිබෙන ප්‍රකාශ සියල්ල අසත්‍යය බවත් මෙවැනි ක්‍රියා දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමයේ සභාපති අනුරාධ විදානගේ පවසයි.
පීඨාධිපතිවරයාට තමන් මරණ තර්ජන කළ බවට කරන චෝදනාව සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත් එසේ කළේ නම් නීතිමය ක්‍රියාමාර්ග නොගත්තේ ඇයිද යන ප්‍රශ්නය තමන් විමසන බවත් ඔහු පැවසුවේය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගම් කාර්යාලයේදී අද (05) පැවැති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
පේරාදෙණියේ විශ්වවිද්‍යාලයේ සිසුන්,පීඨ හා ශිෂ්‍ය සංගම් සම්බන්ධයෙන් මඩ ප්‍රචාර ගෙන යමින් වැරදි මතයක් ජනගත කිරීමේ උත්සහයක් පවතින බවත් ඊට එරෙහිව මහා ශිෂ්‍ය සංගමය කටයුතු කරන බවත් විදානගේ පැවසුවේය.
ශාස්ත්‍ර පීඨ සිසු දෙපිරිසක් අතර පසුගිය 14 වැනිදා ඇතිවූ ගැටුම නවක වදය හා සම්බන්ධ එකක් නොවන බවත් සිසු දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම නවක වදය හා සම්බන්ධකර පෙන්වීමට පිරිසක් උත්සාහ කරමින් ඉන්නා බවත් ඔහු කීවේය.
මේවන විට අදාළ සිදුවීම මුල්කරගෙන ශාස්ත්‍ර පීඨ සිසුන් 15 දෙනෙකුගේ පංති තහනම් කර තිබෙන බවද විදානගේ පැවසුවේය.
විශ්වවිද්‍යාල යනු පන්සල් නොවන බවත් අද පන්සල් වල පවා ගැටුම් ඇතිවෙත්දී විශ්වවිද්‍යාලයේ ඇතිවූ ගැටුම අරුම පුදුම දෙයක් ලෙස හුවා දැක්වීමට පිරිසක් උත්සාහ කරමින් සිටින බවද හෙතෙම අවධාරණය කළේය.
සියලු සිසුන්ගේ අධ්‍යාපන අයිතිය හා සමානාත්මතාව මහා ශිෂ්‍ය සංගමය පිළිගන්නා බවත් ගැටුම ඇතිවූ පාර්ශව දෙක සමඟ ශිෂ්‍ය සංගම් නියෝජිතයින්ද ශාස්ත්‍ර පීඨ පීඨාධිපති, නියෝජ්‍ය විනයපාලකවරු සහ ආචාර්යවරු සමඟ සාකච්ඡාවක් පැවැත්වූ බවත් නැවත ගැටුම් ඇතිවීම වලක්වා ගැනීම සම්බන්ධයෙන් එහිදී එකඟතාවක් ඇතිකර බවත් පැවසූ සභාපතිවරයා ඉන් අනතුරුව තවත් ඉල්ලා සිටින්නේ කුමක්ද යන්න ප්‍රශ්නයක් බවද අවධාරණය කළේය.







