දේශපාලන නායකයන් ගේ අයථා ගනුදෙනු හෙලි කළ පැන්ඩෝරා පේපර්ස් ගවේෂණාත්මක හෙළිදරව්වේ නම සඳහන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිරූපමා රාජපක්ෂගේ සැමියාවන තිරු නඩේසන් 2016 වසරේ යහ පාලන රජයයෙන් අයථා ගනුදෙනු සම්බන්ධව අත්අඩංගුවට ගැනීමට දින කිහිපයකට පෙර එවකට අගමැති රනිල් වික්‍රමසිංහට පෞද්ගලිකව ලිපියක් එවා තමන් අහිංසක සහ නිර්දෝෂී බව දන්වා ඇතැයි වාර්තා වේ.
මෙම අත්අඩංගුවට ගැනීමෙන් තමන්ගේ කීර්තියට කැළලක් වීම වළක්වන ලෙස ද එම ලිපියෙන් ආයාචනය කර ඇතැයි පැන්ඩෝරා පේපර්ස් තොරතුරු මත ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සාමූහිකය (ICIJ) අනාවරණය කර තිබේ.
නැගෙනහිර කොළඹ පිහිටි තමන් සතු ඉඩමක බැසිල් රාජපක්ෂ විසින් නිවසක් ඉදිකර ඇති බව තමන් දැනගත්තේද පුවත්පත් වාර්තාවලින් බවත් ඊට පසුව එම ඉඩම ඔවුන්ට විකුණා දැමූ බවත් මෙම ලිපිය මඟින් තිරු නඩේසන් එවකට අගමැතිවරයාට දන්වා ඇතැයි පවසන මෙම මාධ්‍ය කණ්ඩායම අගමැතිවරයාට යැවූ ලිපියේ පිටපතක් තමන් සතුවද පවතින බව සඳහන් කරයි.
අගමැති රනිල් වික්‍රමසිංහ වෙත යවන ලද මෙම ලිපිය මඟින් තමන් කිසිදු වැරැද්දක් සිදු නොකළ බවත් සියලු ගනුදෙනු විනිවිද පෙනෙන සුළු ආකාරයට සිදු කර ඇති බවත් අවධාරණය කර ඇති අතර ඔහු සියලු කටයතු නීත්‍යනුකූලව සිදු කළ බවටද අගමැතිවරයා වෙත දන්වා තිබේ.
එමෙන්ම පිළිගත හැකි සාක්ෂි රහිතව නගන මෙම චෝදනාව යුක්තිය උපහාසයකට ලක් කිරීමක් බවටද ඔහු තම ලිපිය මඟින් රනිල් වික්‍රමසිංහ වෙත දන්වා ඇති බව ද හෙලිදරව් වි තිබේ.
මේ සිදුවීමට පදනම් වී ඇත්තේ මල්වානේ ඉදිකරන ලද ප්‍රශ්නගත විසල් මන්දිරයවන අතර මෙම ඉඩම හේතුවෙන් 2016 වසරේදී නිරූපමා – නඩේසන් යුවල ප්‍රශ්න කිරීම්වලට ලක්වූ බවද සඳහන් කර ඇත.
නඩේසන් අත්අඩංගුවට ගැනෙන්නේද මෙම ප්‍රශ්නගත ඉඩම සම්බන්ධයෙනි. ඔහුට ඉඩම් වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වි තිබිණ.
කෙසේ වුවද මෙම ගවේෂණ වාර්තාව මඟින් දක්වා ඇත්තේ වර්තමාන ගෝඨාභය රාජපක්ෂ රජය පැමිණි පසුව පත්කරන ලද විශේෂ කොමිසමක් මඟින් නඩේසන් සම්බන්ධයෙන් පවතින ඉඩම් පිළිබඳව චෝදනාවලින් ඔහු නිදහස් කර ඇති බවය.