ද්විත්ව පුරවැසිභාවය හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, 22 වැනි සංශෝධනය සම්මත වීමත් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමේ වරම අහිමි වේ.
එහෙත් එය සිදු වන්නේ, යමෙකු ඔවුන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් ඔවුන්ගේ මන්ත්‍රී ධූර අභියෝගයට ලක් කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධව ලැබෙන තීන්දුවට අනුව බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ‘ලංකාසර’ ට පැවසීය.
මේ පිළිබඳව කළ විමසීමකදී ඔහු සඳහන් කළේ වර්තමාන පාර්ලිමේන්තුවේ ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරුන් දස දෙනෙකු පමණ සිටින බවය.
ඔවුන්ගෙන් කිහිප දෙනෙකු හැරෙන්නට, එම මන්ත්‍රීවරුන් කව්දැයි තමන් ද තවමත් හරිහැටි නොදන්නා බව අධිකරණ ඇමතිවරයා කීවේය.
මෙම සංශෝධනය ඉදිරිපත් කළ ආකාරයෙන්ම මූලික ස්වරූපයේ වෙනසක් නොමැතිව සංශෝධන සහිතව සම්මත වීම පිළිබඳ තමා සතුටට පත් වෙන බවත් එය රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් තැබුණු තීරණාත්මක පියවරක් වෙනු ඇති බවත්, අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.
එහිදී අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.
“බොහෝ අය වර්තමාන පාර්ලිමේන්තුවේ ද්විත්ව පුරවැසි භාවය හිමි මන්ත්‍රීවරුන්ට මන්ත්‍රීධුරය ලැබිය හැකි ද යන්න විමසනවා. මෙම සංශෝධනය බලාත්මක වීමත් සමඟ ඔවුන්ට මන්ත්‍රී ධුරය දැරීමේ හැකියාව අහිමි වෙනවා. නමුත්, එය සිදු වෙන්නේ යම්කිසි අයෙක් ඔවුන්ට එම ධුරය දැරිය නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයකට ලක් කළොත් එහිදී නව සංශෝධනයට අනුව ඔවුන්ට ව්‍යවස්ථානුකූලව මන්ත්‍රීධුරය අහිමි වෙන බවට තීන්දුවක් ලබා දුන්නොත් පමණයි…”







